Showing posts with label හසිත ඡායාරූප hasicat. Show all posts
Showing posts with label හසිත ඡායාරූප hasicat. Show all posts

Thursday, July 16, 2026

අතීතයෙන් ගඟ ගලා බසී

තිස්සමහාරාමයේ සේවය කල අවධියේ, දිනෙක රාත්‍රියේ වෑඩ හමාර ව පැමිණ රූපවාහිනී යන්ත්‍රය ඉදිරිපිට විවේකයක් ගන්නා වෙලාවක. ඒ එක් එක් නාලිකා මතින් බලන්නට සුදුසු යමක් සොයමින් ‘ගතකල’ කාලයක්. කොතරම් දේවල් තිබුනත් මට ගැලපෙන බලන්නට සුදුසු යමක් සොයා ගැනීම වරුවක් තරම් කාලයක් ගතවන ක්‍රියාවලියක්. ඒ මොහොතට ගැලපෙන යමක් සොයා මම තවත් වෙලාව වැය කරමින් සිටියේ. 


මෙහෙම යද්දි මට සිංහල කළු සුදු චිත්‍රපටයක් තිරයේ දිස් වුනා. එහි තිබූ වාර්තාමය ගතිය නිසා චැනලය මාරු කරන්නට සූදානම් වෙද්දී එක වරම පැරණි කොළඹ නගරයේ රූප රාමු පෙලක් පෙනෙන්න්ට පටන් ගත්තා. රූපරාමු ගෝල්ෆේස් පිටිය පසු කොට කොටුව පැත්තට යද්දී වට රවුම පසුකොට මුහුදු වෙරල ඔස්සේ ඇති පාරත් ඈතින් පෙනෙන වරාය චෛත්‍යයත් මගෙ මනස ගෙන ගියා පැරණි මතකයක් වෙත. එම චෛත්‍යයත් එය වෙත ඇතුල් වීමට ඇති පඩි පෙලත් සමග බැඳුණු ඒ මොහොත මට මගේ තාත්තා සමග අතීතයේ පෙබරවාරි 4 වැනිදා, නිදහස් දිනයෙක කොළඹ ගිය ගමනක් මතක් කලා. 


උදෑසන අවදිව තාත්තා සමග ඒ ගිය ගමන සම්බන්ධයෙන් සිදුවූ සියල්ල මතක නැතත්. සමහර දේවල් හොඳින් මතකයේ තියෙනවා. මල්ලී පොඩි නිසා ඔහුව එක්ක ගියේ නැහැ. පානදුර බස් නැවතුම්පලින් පිටකොටුව ලංගම බස් රථයක නැගී කවුළුවක් අසල ආසනයක වාඩි වී වට පිට බලමින් ගිය ගමන සහ ඊට පසුව මොහොතක ගාළු මුවදොර අසලින් බැස පයින් ගමන් කොට චෛත්‍යය පාර ඔස්සේ පාර දෙපස තිබූ පැරණි කොටුවේ මං සලකුණු ඔස්සේ අප දෙදෙනා අව්වෙ පයින්ම එතැනට ගියා. ඒ දිනවල කොළඹ මොරිස් මයිනර් මීටර් ටැක්සි තිබුණු කාලෙ. 


චෛත්‍යය වෙත ඉහලට නැගීමට ඉදිකොට තිබූ පඩි පෙල ඔස්සේ ගමන් කොට අවට නැරඹූ බව මතකයේ තියෙනවා. ඊට පසු හෝ ඉහලට නගිද්දී තාත්තා මට ඇස් වසා ගැනීමට කියා ඉහලට ගමන් කල බවත් සුළු මොහොතකට පසු ඇස්පිය හරිද්දී ඔහු ඉහලින් නොව පහලින් මතු වූ බහත් මට මතකයි. මා මවිත කරන්නට ඔහු කුමක් හෝ දෙයක් කල බවත් ඉහලට ගිය ඔහු පහල තට්ටුවෙන් මතුවූ බවත් මට මහත් ප්‍රහේලිකාවක් වුනා. ගමන් වෙහෙසත් අව්වේ ගමන් කොට ඇති වූ පිපාසයත් පඩි නැගීමෙන් ඇති වූ හතියත් අමතක කරන්නට මට ඒ මොහොත මහත් අස්වැසීල්ලක් වුනා. හවස් යාමය දක්වා එදා ඒ ගමන යෙදී තිබුනේ අවසානයට පියකොටුව දක්වා ඇවිද ගොස්. අම්මාටත් මල්ලීටත් පිටකොටුවෙන් මොනවා හෝ ගත් බව මතකයේ තිබුනද ඒ මොනවාදැයි නම් මතක නැහැ


අසූව දශකය ආරම්භ වන විටම අප පවුලට උදාවුනේ සුබ තත්ත්වයක් නෙවෙයි. තාත්තා දේශපාලන කටයුතු වල නොයෙදුනත්  පසුව ඔහු අයත් වූයේ අසූව වැඩ වර්ජකයන්ගේ සංගමයට. 1994 වසර දක්වා ඔහු ඒ දුක වින්දා. ජීවිතේ හොඳම කාලයේ තම රැකියාව අහිමිව සිටින්නට ඔහුට සිදුවුනා. දේශපාලන ගැත්තන් පසුපස නොගිය ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් සොයා ගත්තා. එයට ඔහුගේ මිතුරෙකු උදව් කලා. අප කුඩා කල විඳි දුක් ගැහැට කොපමණ අල්ප වූවද අපට ඒ කරදර පවා නොදැනෙන්නට අම්මාත් තාත්තාත් විඳි දුක් ගැහැට දන්නේ ඔවුන් පමණයි.  


මා යම් කලෙක රැකියාවක් ලැබ ඔවුන්ගේ ජීවිත ගමනට ශක්තියක් වන්නට මුල පුරද්දී අකාලයේ තාත්තා ජීවිතයෙන් සමු ගත්තා. උදෑසන ඔහුට කතාකොට කාර්‍යාලයට පැමිණි මා ඔහු බලන්නට රෝහලට යද්දී ඔහු ජීවිතය හැර ගිහින්. ගාල්ලේ අම්බලන්වත්තේ ඉපදී ගාල්ලේ පාසල් ගොස් අවසන පානදුරේ පදිංචිව සිටි ඔහුගේ නිසල සිරුර දුමාරයක් ලෙස වා තලයට මුසු වූ බණ්ඩාරගම සුසාන භූමියේ ගල් පුවරුවක ඔහුගේ මතකය ලෙස ලියැවී තියෙනවා. 


කාලයත් සමග මතකයන් කෙමින් කෙමින් වියැකී යන කලක මේ අකුරු කිහිපය සංස්කරණය කරන්නට මට මාස කිහිපයක් ගතවුනා. අම්මා සහ තාත්තා ගැන මතකය සහ අම්මා අදටත් ජීවිතයට ලබා දෙන ශක්තිය වචන වලින් ලියා නිම කල නොහැකි එකක්. එවන් මතකයන් කවදාවත් සිතින් මැකී නොයන්නට පතන්නෙමි. 






Monday, May 3, 2021

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවි...

ජීවිතයේ නොයෙක් අවධීන් පසු කොට තත්ත්පර විනාඩි පැය එකට එකතු වී දින මාස අවුරුදු හරහා කාලය ගත වී ගොසින් අපි අද යම් තැනක රැඳී සිටින්නෙමු. රාත්‍රියේ හිරු ඇත ක්ෂිතිජයෙන් මුහුදේ ගිලී ගිය පසු උදාවන අලුත් දවසක අපි කොහේ කොතැනක සිටීවිදැයි කීමට දැනට හැකියාවක් නැත. මේ ගත කරන අවදානම් සමයේ අප මේ කතා කවදා කොතැනක කෙළවරක් වේ දෝ දැයි කීමට කොහෙත්ම හැකියාවක් ඇත්තේ නැත.

නැවත හැරී බැලූවිට අප පසුකල ඒ කාලයන්හි අමතක නොවන සහ තවත් සමහර සොඳුරු අවස්ථා සිහියට නැගෙන්නේ ඒ අවස්ථාවන් ඡායාරූප ගත කොට සුරැකිව තබා ගත් හෙයිනි. පෞද්ගලික හෝ පොදු හෝ කරුණ නොසලකා "අතීතය පටිගත කළ" එම ඡායාරූප දෙස මඳක් අවධානය යොමු කල විට, සමහර අවස්ථාවන් වලදී මතකයට නොනැගෙන පැරණි මතකයන් පවා, යළි ජීවමාන වීම වළකාලනු නොහැක. (මා මේ ලියන අවස්ථාවේ සලකන්නේ ඡායාරූපයක ඇති ලස්සන හෝ සුන්දරත්වය හෝ නොව එහි ඇති පසුබිම් කතාව පමණි)

වසර 1980 ගණන් වල මුල් භාගයේ ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය මගින් පළ කළ යොවුන් ජනතා පත්‍රයේ පළවූ ඡායාරූප ගැනීමේ කලාව අළලා වූ ප්‍රසන්න හෙන්නායක මහතා විසින් රචිත විශේෂාංගය කියවීම හරහා ඇති වූ උනන්දුව, පාසලේ ඡායාරූප සංගමය හරහා හෑගොඩ සර්ගෙන් ලත් ඉගෙනුම හරහා යම් ප්‍රමාණයකට ඔප මට්ටම් ව ඒ පිළිබඳව අද මෙසේ අකුරු කරන්නට මට හැකි විය. 

පටන් ගැන්මේ දී ඥාති හිත මිතුරන් ගෙන් ඉල්ලාගත් කැමරා වලින් පින්තූර ගත් මම 1998 වර්ෂයේ දී පුවත්පත් දැන්වීමක් අනුව කොහුවල දී ප්‍රසන්න හෙන්නායක මහතාගෙන් මාගේ මුල්ම Nikon FM10 වර්ගයේ SLR කැමරාව මිලදී ගත්තෙමි. පසුව එයට Vivitar zoom lens එකක්ද එකතු කොට යම් ආකාරයකට ඡායාරූප ගැනීම සඳහා සන්නද්ධ වූයෙමි. ලංකාවේ Kodak නියෝජිතයන් හරහා සේයා පටල වලට සහ ඡායාරූප මුද්‍රණය කිරීමේදී ලැබුණු වට්ටම් නිසා මගේ ඡායාරූප ගැනීමේ සහ මිතුරන්ගේ පිංතූර අරන් දීමේ සත්කාර එවක ජයටම සිදු වූවා. පසු කළෙක මගේ සහෝදරයා විසින් තෑගි කළ Canon S2IS digital කැමරාව හේතුවෙන් සහ එහි පහසුව හේතුවෙන් සේයා පටල ක්‍රම ක්‍රමයෙන් අමතක කොට Memory card මතට ඡායාරූප සටහන් වීම මාරු වුණා. 

මෙසේ කාලය ධනය ශ්‍රමය වැය කරමින් එදා ගත් සමහර ඡායාරූප අද මා සතුව නැහැ. සේයා පටල භාවිතා කල කාලයේදී ගන්නා ලද බොහෝ ඡායාරූප සහ එම negative පට අද කාලය සමගම විනාශ වී ගොසින්. ඡායාරූපවලින් කොටසක් Scan කොට සංරක්ෂණය කරගැනීමට හැකි වූවත් විනාශ වුණු ඒ මතකයන් නැවත ගොඩ ගැනීමට නොහැක්කක්. ජීවිත ගමනේ කාලය ගත වෙද්දී වියැකෙන මතකය ඔස්සේ ඉදිරියේදී සමහර මතකයන් ඡායාරූප ඔස්සේ පමණක් මතකයට නැගේවි. ඡායාරූපයක් දුටු කල ඒ සමඟම මතකයට එන පසුබිම් කරුණු දැනට වඩා අඩු හෝ වැඩි හෝ වේවි. 

මා සතුව නැතත් ඒ දින වල මුද්‍රණය කළා වූ සමහර පිටපත් මා හිත මිතුරන් සතුව පවතිනවා. මට වඩා ඔවුන් ඒවාට ඇළුම් කරන බව මට විස්වාසයක් පවතිනවා (අවාසනාවකට එම පිටපත් Scan කරගැනීම පිණිස ඉල්ලූ නමුදු ලැබුනේ අයහපත් ප්‍රතිචාරයක්. කෙසේ වෙතත් ඒවා දුටු විටෙක හෝ මා සිහි වන්නේ නම් එයද යහපති)

සේයා පටල යොදන කැමරා වලින් පසු ඩිජිටල් කැමරා සහ ජංගම දුරකථන කැමරා හරහා මේ වන විට විශාල ප්‍රමාණයක් ඡායාරූප එකතු කොට ඇත්තෙමි. මෑත කාලයේ දී ගන්නා ලද ඡායාරූප අන්තර්ජාලයේ සහ පරිගණක යන්ත්‍රවල ගබඩා කරගෙන සිටින නමුදු අනාගතයේ දී ඒවාට ද ලැබෙන ඉරණම කුමක්දැයි මා නොදනිමි. සමහරවිට මාගේ ජීවිතය සමගම ඒවා ද හිස් අවකාශයට එකතු වනු ඇත. අන්තර්ජාල අවකාශය පවතින තුරු තවත් සමහරක් රැඳී පවතිනු ඇත. 

නමුදු එම ඡායාරූප අනාගතයේ යම් දිනයක, යම් හෙයකින් හෝ ඔබේ නෙත ගැටුනහොත් ඒවායේ පෙනී සිටින්නන් හට සහ එම ස්ථානයන්, එමෙන්ම ඒ පසුකල සොඳුරු අවස්ථා සියල්ල නැවත සිහියට එනු ඇත. එය සිතට නැගෙන සිතුවිල්ලෙන් හට ගන්නා වූ මන්දස්මිතයකින් හෝ ඇස් කෙවෙනි තෙත් කොට කඳුළකින් හෝ අවසන් විය හැක.  

ඒ මා ලබන සතුටයි. ඒ මගේ කඳුළයි. ඒ මා ඔබ සමග බෙදා ගන්නා සංවේදනාවයි.

සුභ රාත්‍රියක්

හසිත එරන්ද පෙරේරා
2021 මැයි මස 3 වන දින



(මගේ ඡායාරූප ගැනීමේ ආශාවන් මුදුන්පත් කර ගැනීම සඳහා නොයෙකුත් ආකාරයෙන් මට සහාය වූ සහ මාගේ ඉල්ලීම් සලකා විශ්වාසයෙන් යුතුව මට තමන්ගේ වටිනා කැමරාවන් ලබාදුන් සියලු දෙනාම කෘතඥතා පූර්වකව සිහිකරනවා.)