Saturday, September 27, 2025

ජීවිතය නම් වූ ගමන් මඟේ ආපසු හැරී බැලීමක්

  ජීවිතය නම් වූ ගමන් මඟේ ආපසු හැරී බැලීමක්


අද දිනය වෙනුවෙන් මේ අවකාශයේ කුමක් හෝ කුරුටු ගෑ යුතු බව මට සිතුණේ මීට සති කිහිපයකට කලින්. එහෙත්, කුමක් ලිවිය යුතුද? කෙසේ එය ලිවිය යුතුද? යන්න දැනටත් මා සිත ඇති ප්‍රශ්නයක් මිස, ඒ ගැන සිතීමෙන් වුණු ඵලයක් නම් නැත.


මේ මහ පොළොව මත, එහෙමත් නැත්නම් සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පවතින බවට දන්නා එකම ග්‍රහලෝකය වන සූර්යයාගේ සිට තුන්වැනි ග්‍රහලෝකය මත, මා නිසලව සිටින මේ මොහොතේ පවා ඉර වටා අපි පැයට කිලෝමීටර 107,000ක වේගයකින් අප මිත්‍ර අයේෂ්ගේ හිස මෙන් අංශක 2331​ කින් ඇලව පරිභ්‍රමණය වෙමින් ගමන් කරන්නෙමු. ඒ ගමන් වාර පණහක් මේ වන විට අඩු වැඩි වශයෙන් සම්පූර්ණ කර ඇත.


ඒ ගතවූ කාලය තුළ පසුකළ සියලු දේ අද වන විට මතකයේ නැතත්, අමතක නොවී ඉතිරි වූ සුන්දර මෙන්ම විටෙක අසුන්දර වූ මතක සටහන් ගොන්නක් සිතින් තුරුලු කරගෙන අද ආපසු හැරී බලමි.


කාලය, බැඳීම් සහ පාඩම්


වසරකට වරක් මෙලෙස කටු සටහන් ඉතිරි කොට ඒ දිනයන් පසුව ගිය නමුදු, අද උදෑසන අම්මාගේ දුරකථන ඇමතුම ගෙනාවේ මට ඊට වඩා වෙනස් වූ හැඟීමකි. ඊටත් පසුව දහවල් කාලයේදී අහන්නට ලැබුණු ගීත කොටසක් ඔළුව තුළ නැවත නැවතත් වාදනය වන්නට වුණා:


...දස මස මා කුස දැරූ පිනම ඇති

නුඹට බුදුන් දැක නිවන් දකින්නට...


විවිධ වූ හැල හැප්පීම් මැද ගලා යන ජීවිතයට සතුට ගෙනා අය මෙන්ම යමක් සිතන්නට ඉඩ දී මඟින් හැරී ගිය අය ද සතුටින් සිහි කරමි. ඒ සියලු දෙනා ජීවිතයට පන්නරයක් ලබා දුන් බැවිනි.


තාත්තා මෙලොව හැර ගොස් දැන් කලක් ගත වී ඇත. ඔහුගේ උපන් දිනයද පසුගිය දිනෙක පසු විය. කතරගම සිටි මා හසල් ඉපදුණු දවසේ රෝහලට පැමිණෙන්නට කාලය ලැබුණේ මඳක් පමාවීය. ශල්‍යාගාරයේදී බිලිඳු පුතු දුටු විට එදා මට මතක් වූ දේ මෙන්ම, මා ඉපදුණු දා තාත්තාටද එළෙසින්ම සිතන්නට දේ තිබෙන්නට ඇති. ඒ සියල්ල අතීතයට භාර කරමි.


සිනහව සහ අත්දැකීම්


මෙපමණ කලක් මේ මහ පොළොව මත වසන්නට උදව් කළ උදවිය බොහෝ සිටිති. සුමංගලයේ බාලාංශ පන්තියේ ඉන්නා කල මට ඉගැන්වූ සොයිසා මිස්ගේ පටන්, අද හවස මට වාහනය පසුපසට ගැනීමේදී ස්වේච්ඡාවෙන් උදව් කළ නාඳුනන මිනිසා දක්වා මගේ මේ කාලයේ හමුවූ බොහෝ මිනිසුන්ගේ සිනහව පිරුණු මුව මට අමතක නොවේ.


අප බොහෝ කාල පරිච්ඡේදයන් පසු කොට පැමිණ ඇත. පාර දෙපැත්තේ පිළිස්සුණු සිරුරු සමඟ ගිනිගත් රට, මුහුද ගොඩගැලූ රට මෙන්ම, උදෑසන ගෙදරින් පිටත් වූ මොහොතේ සිට නැවත පැමිණීම අවිනිශ්චිත වූ කාලයන්, හුස්ම ගැනීම පවා ගැටළුවක් වූ කලක් පවා අප පසු කොට ඇත්තෙමු. ඒ සියල්ල අතීතයයි.


පාර දිගේ...


මේ සියලු අත්දැකීම් සහ උගත් පාඩම් ඔස්සේ, ඉදිරි අභියෝග ඉතිරි කාලය තුළදී තවදුරටත් ශක්තිමත්ව ඇවිද යාමට අවශ්‍ය උත්සාහය, ධෛර්යය මෙන්ම නිවැරදි මාර්ගයන්ද ලැබෙනු ඇතැයි සිතමි.


නිහඬතාවය රජයන රාත්‍රියක, අවට ඇති අඳුර සහ ආලෝකය මධ්‍යයේ සිතට ගලා ආ සාගරයක් හා විශාල වූ නොනවතින හැඟුම් සමුදායකින් ඉතා කුඩා කොටසක් පරිගණකය ඔස්සේ මෙලෙස අකුරු කොට නිම කරමි. අද උදෑසන සිට සිතට ගලා ආ සියලු දේ සම්බන්ධයෙන් යම් තරමකට හෝ සාධාරණයක් කරන්නට ඇතැයි සිතමි.


එළෙසම, මා ඉපදුන විට මට නම් තැබූ ආතා (අම්මාගේ තාත්තා) සිතූ පරිදිම ඉදිරියටත් සිනහවෙන්ම සිටින්නට වෙර ගනිමි.


Saturday, April 12, 2025

අවුරුදු කතා

අවුරුද්දට රටම සූදානම් වෙන පරිසරයක නගර වල තියෙන අසාමාන්‍ය වාහන තදබදය මග හැරලා මාතර ඉඳලා කොළඹ ගිහින් නැවත එනවා කියන්නෙ එක අතකින් වාසනාවක්. පාර පනින්න බැරි තරමට පාරෙ වාහන පිරිලා තියෙන තදබදය අද ඒ තරමටම තිබුනෙ නැහැ. සමහර විට ඒ අය අද ගමේ ගිහින් ඇති. 


පෝය කියලා වෙනසක් නැතිව හැම තැනකම කඩ ටික නම් විවෘතව තිබුණා. ඊටත් වඩා පදික වේදිකාවේ තාවකාලික කඩ පෙල කලබලකාරී ගනුදෙනුකරුවන්ගෙන් පිරී දිලිසි දිලිසි තිබුණා. බැංකු ටෙලර් යන්ත්‍ර ලඟ පෝලිම්. වැඩියෙන්ම කලබලකාරී වුන තැන් ටික නම් අද වහලා. පාරෙ ඉන්න හැමෝටම තිබුනේ හදිසියක්. ඒ අතර සුදු ඇඳගත් උවැසියොත් අතරින් පතර හිටියා. නොනවතින ගමනක තවත් කොටසක්.


රාත්‍රිය එළඹිලා නැවත එන්න පිටත් වු කළ තම විදුලි පහන් එලිය අඩු කර ධාවනය කරන්නට තරම් වත් වෙලාවක් නැති වූ රියැදුරන් පිරිසක් මුහුණට මුහුණ මුණ ගැසුනු හේතුවෙන් යම් අපහසුතාවක් සිතේ දරාගෙන නිදිමත යටපත් වුනා මොහොතකට. 


වලාකුළු රහිත ලා නිල් අහසක් එක පැත්තකින් සඳ එළිය ලබා දෙද්දී අනිත් පැත්තෙන් වැහි වළාකුල් පොඩි පොඩි වැසි ලබා දුන්නෙ ගමන් විඩාව නිවා ගමනාන්තය දක්වා අපව සුරක්ෂිතව කැඳවා ගෙන යන්නට. එක පැත්තකින් සඳ රවුම් වෙලා තියෙද්දි අනිත් පැත්තේ කළු කල අහසේ විදුලි එළි ගමන් කරනවා


නිල් වන් අහසෙ පුළුන් ගොඩක් වන් වළාකුළු මඳ සුළඟේ හෙමින් පාවි පාවි යද්දි ඒවායෙ තමයි දෙවියො ගමන් කරන්නෙ කියල තමයි පොඩි කාලෙ හිතුවෙ. පන්සල් වල ඇඳලා තියෙන සිතුවම් වල හිටපු දෙවියො එහෙම ඉඳන් තමයි වැඳගෙන හිටියෙ. හිටපු ගමන් ඒ වළාකුළු කළු වෙලා වැස්ස සමග විදුලි කොටලා ගම් බිම් ගහ කොල මිනිස්සු විනාස කරලා දාන්නෙ ඒ දෙවියොම කෝප වෙලාද කියලා මට ඒ දවස් වලත් තේරුම් ගන්න බැරි වුණා. ඒ වුණත් ඒ නිල්වන් අහස බලාගෙන කල්පනා කරන කොට හිතට දැණුනු සනීපය කොච්චරක් උපමා උපමේය ගෙනාවත් ඒකට සම කරලා පෙන්නන්න බැහැ අදටත්. 


වික්ටර් කියන සිහිල් සුලං රැල්ලේ සිංදුවට දුම්රිය ගමනක් ඈඳලා රූපවාහිනියෙන් කරපු රූප රචනාව අදටත් ඒ සිංදුව ඇහෙන කොට අපි කණ්ඩායම ඒ දවස් වල ගිය චාරිකාවන් හිතේ මැවෙනව වගේ රෝහණගෙ මුතුකුඩ ඉහලන මල් වරුසාවට තෙමී තෙමී ලබන මතකයන් සමග මහ වරුසාවට පසුව නැගෙන සඳ ගැන සෝමතිලක ජයමහ කියනවා වගේ මමත් පාරෙ එන ගමන් අර පේන වළාකුල් වැස්ස සහ සඳ එළිය අතර සක්මන් කලා සිතින් මොහොතකට. සමහර විට අහසෙ ඇතිවන විදුලි කෙටීමක් වගේ. 


මුළු රටක්ම එක වෙලාවක නැකතට වැඩ අල්ලා කිරිබත් කන දවසක අම්මා උපන් දිනය සමරනවා. ඒ දිනේට දෙපැත්තට වෙන්න දවස් දෙකක පුතාත් දුවත් උපන් දිනය සමරනවා. මල්ලිගෙත් උපන් දිනය ඒ කිට්ටුවකම තියෙනවා. ඉතින් බක් මාසෙ සැප්තැම්බරය වගේම මට විශේෂයි. 


තාත්තා සමග කොලඹ ගමනත් වෑරදුනේ නැහැ අප්‍රේල් අවුරුද්දට කලින්. දීර්ඝ පාසල්  නිවාඩුවකුත් ලැබුණු ඒ කාලෙ අවුරුදු වලින් පස්සෙ එළඹුනේ ගාළු ගමන. කෝච්චියෙ හරි බස් එකේ හිටගෙන හරි ඒ ගමන වැරදුනේ නැහැ. ගිහින් එන්නෙ ඉස්කෝලෙ පටන් ගන්න දවසකට දෙකකට කලින්. 

දිගු පෝලිම් 

තදබද වූ ජනතාව

ලංගම 

දුම්රිය 

මගදී අසනීප වෙනවට බෙහෙත්

ලැබෙන පොත් තෑගි…මේ දේවල් අමතක කරන්නෙ කොහොමද 


ඉස්සරනම් කජු සහ පුහුලම් කන්න ලැබුනා ඇති තරම් මේ කාලෙට ඒ වගෙම අකුණු ගහන්නෙ නැත්නම් මම තවත් කැමතියි. පස්සෙ කාලෙක අවුරුදු ස්පෙෂල් හින්දි චිත්‍රපටි ඇවිල්ලා සාලේ මැද අරක් ගත්තට කළු සුදු ටීවී එකේ බලපු බක්මහ දීගේ චිත්‍රපටියෙ කොටස් මේ අතරට එකතු කරන්නත් ඕනෙ නැත්නම් ඒක අඩුවක් වේවි. අනිත් එක රේඩියෝවෙ රටවටා අවුරුදු වචන වලින් හිතේ මැවූ සිත්තම්. ඒ පුරුද්දට මම තාමත් අවුරුදු වෙලාවට ටීවී එකේ සද්දෙ අඩු කරලා තවමත් අහන්නෙ රේඩියෝ. දැන් එෆ් එම් කිචි බිචි වුනාට ඒ දවස් වල නම් “රේඩියෝ සිලෝන්!” 

වැරැද්දක් වුනොත් සමාව ගන්නවා “සිදුවූ ප්‍රමාද දෝෂයට” මධ්‍යම තරංග වලින්. 


මෙහෙම කාලය ගෙවී ගිහින් හෙට අනිද්දා පහු වෙන කොට අවුරුදුත් ඉවර වෙලා ගමේ ගිය අයත් ආයෙමත් ඇවිත් බක්මහ අකුණුත් මැකිලා යයි සමහර විට. මගෙ හිතත් එදිනෙදා කටයුතු සමග කාර්‍ය බහුල වේවි. අපි අපිවම නැවත නැවතත් මුණ ගැසේවි හෙට දිනයෙත්. 


Thursday, March 13, 2025

අද මාර්තු මාසෙ 12 වැනිදා.

අද මාර්තු මාසෙ 12 වැනිදා. 


කලකට පස්සෙ රාත්‍රියේ නිශ්ශබ්දතාව හොඳින්ම දැනෙන රැයක්. වෙලාව තවමත් රාත්‍රි දහය පසු වූවා පමණයි. ඉඳ හිට ඈතින් ගමන් කරන යතුරු පැදියක හඬ අතරින් පතර ඇසුණද වෙනදාට අතෝරක් නැතිව ඇසෙන වාහන හඬ දුම්‍ රිය හඬ ආදී කණට මිහිරි වූ සහ අමිහිරි වූ සියළු හඬ පරදා නිශ්ශබ්දතාව‍ය රජ කරන රාත්‍රියක්. සමහර විට හෙට පෝය දිනයක් වූ නිසාවෙන් සියළු දෙනා නගරය අතහැර ගම් රටවල් වෙත නිවාඩුව ගත කරන්නට ගොස් ඇති. පුද්ගලික පංති පැවැත්වීමක් නොවුවහොත් වෙනදාට ඉතාමත් කාර්‍ය් බහුල වූ නගරය හෙට තවත් පාළු ස්වභාවයක් ගනීවි. 


හැමදාමත් වගේ අවට පරිසරයේ ඇතිවෙන නිහඬතාව මගේ සිතට ගෙන එන්නේ අතීත සිදුවීම් චිත්‍රාවලියක්. එකිනෙකට සම්බන්ධ වූ සහ නොවූ සිදුවීම් පෙලක් සිතට නැගී නැවත තවත් සිදුවීමකට ඉඩදී යටව යන මොහොතක්. පසුගිය සති අන්තයේ අප පාසල් ආදි ශිෂ්‍ය සංවත්සර උත්සවයට සහභාගි වීමෙන් ලද උණුසුමත් ඒ ඔස්සේ පාසල් දිවියේ දිනපතා මුණ ගැසුණු මුහුණු වසර ගණනාවකට පසු නැවතත් මුණ ගැසීමත් එයට උත්ප්‍රේරකයක් වුනා. 


එදා පාසල් කල අප මිතුරු සමහරුන් අද ජීවතුන් අතර නැහැ. තවත් සමහරුන් පිලිබඳව කිසිම තොරතුරක් ඇත්තේම නැහැ. යම් යම් හේතු මත උත්සවයට නොපැමිණි අය කොහෙදී හෝ මුණ ගැසේවි. ඒත් මා පෙර කියූ කොටසට අදාල අය නැවත මුණ ගැසුනද ඔවුන් අඳුනා ගන්නට හැකි වේදෝයැයි මට සිතෙන්නේ නැහැ. කාලය බොහෝ දුර ගිහින්. මේ අප ගත කරන්නේ ජීවිතයේ අපට හිමි යම් කිසි නිශ්චිත කාල පරිච්ඡේදයක්. නගරය පාළු ස්වභාවයක් ගැනීම හා එය අතර යම් සමානකමක් ඇති දෝ කියා විටෙක සිතෙනවා. 


පසුගිය 2024 වසර අවසාන දිනයේ ගත කල පැය කිහිපයක් හරහා මා ලද අත්දැකීම මට ජීවිතයේ ලද යුතු බොහෝ පාඩම් ඉගැන්වූවා. මට මා එතරම් අගයක් නොවූවත් එය එලෙස නොවූ මා අසල ගැවසුණු දුක සැප විමසූ පිරිසක් සිටියා. ඔවුන්ගේ සමාගමය මට මා පසුවූ යම්කිසි අසීරු මොහොතක ඒ අපහසුතාවය මග හරවා යම් සුබවාදී චිත්ත රූප මැවීමට සමත් වුණා. මා ප්‍රිය බිරිඳ පද්මශිඛා මගේ සියළු දේ ඉවසා මා අසලම රැඳී සිටියා. අපගේ අනපේක්ශිත නොපැමිණීම මධ්‍යයේ පුත් හසල් ඔහුට හැකි ආකාරයෙන් අප නැති අඩුව පිරිමසාලීමට ඉදිරිපත් වුණා. ඒ ජීවිතයේ එක සංධිස්ථානයක් පසු කල දිනයක්. 


සති අන්තයේ හෝ නිවාඩු දින එළඹෙද්දී, දිගින් දිගට එලූ කලු පලසක් වන් වූ මාර්ගය ඔස්සේ විටෙක ඈතින් කලු සුදු අළු පැහැති වළාකුල් සුලඟේ පාවී යන, දහවල අප වෙත හෙලූ චණ්ඩ රශ්මිය හංගාගෙන බැසයන ඉර සමගින් රත් පැහැ ගත් ආකාසය වෙත කරන ගමනක් වන් වූ මගේ රථ ගමනේ නිමාව සටහන් වෙන්නේ කලබලකාරී නගරයක කොටසක මා එනතුරු මග බලා සිටින ඔවුන්ගේ සිනා සතුටු දෑස් මධ්‍යයයේ. ඔවුන්, ඒ දුවත් පුතාත් මගේ පැමිණීම බලා සිටින සේ මමත් මල්ලීත් යම් කලෙක මෙළෙසම බලා සිටියා මතකයි. කාලය, ප්‍රදේශය සහ පුද්ගලයන් වෙනස් වූවත් ඒ එකම සංසිද්ධියක්. සමහර දින වලදී එලෙස බලාගත් වනම සිට නින්දට වැටුණු අප පසුවදා අවදි වන්නේත් පෙරදා රාත්‍රියේ බලා සිටි බලාපොරොත්තු සහිත වූ සිතිවිල්ලෙන්ම. 


කාලය අප පසු කර ගියද වේගයෙන්, ලබන්නා වූ හෙට දිනයේ අප අතීතයට වඩා හොඳින් ඒ අත්දැකීම් ඔස්සේ දිවියට මුහුණ දිය යුතු වේ. දැන් පවතින නිහඬතාව තව පැය කිහිපයකින් මැකී යනු ඇත. ඈතින් ඇසෙන මුහුදු රළ බිඳෙන හඬ මැකී යනු ඇත. කුරුලු හඬින් ආරම්භ වී වාහන ශබ්ද ඇතුළු විවිධාකාර ශබ්දයන් ඔස්සේ දිනය පුරා නොනවතින ගමනක රිද්මය ඔබගේ ඇතුළු සිතට වද දෙනු ඇත. යම් කිසි අනාගතයක් දක්වා හෙටත් අප හමු වනු ඇත. 





Thursday, November 30, 2023

සාදය අතර තනිව...

ඝන අඳුර මැදින් ඈතින් පෙනෙනවා වතුරින් පිරුණු වැව හා වැව් කණ්ඩිය මතින් වේගයෙන් ධාවනය වන රථයක එළිය. මම රැඳී සිටින්නේ ඒ
වැවේ ම තවත් අන්තයක. 

අහසේ දිලෙන තරු කැට සොයමින් ම මගේ සිතුවිලිත් ඒ සමගම දිව යනවා ඒ වේගයෙන්ම අතීතය හා වර්තමානය අතර දෝලනය වෙමින්. 

නිවසින් බැහැරව ගතවෙන මේ කාලයේ, මේ සතියේ දින හතරක් ම ගෙවී ගිහින්. සතුටින් ගත
කරන්න බිරිඳ හා දරු පැටවුන් සමග, 
දින දෙකක් උදෙසා නැවත මම මගේ අවට ලෝකය වෙනස් කරනවා හෙට දිනයේ. 

ඈතින් පෙනෙන පහන් කණු වල ආලෝකය වැව් ජලයේ පින්තාරු කළ හැඩ තල කෙමෙන් මැකී යන මැදියම් අඳුරේ අප වසා ගත් මීදුම් වලා අවට පරිසරය සිප ගන්නා මෙවන් වෙලාවක සිතට නැගෙන සිතුවිලි වචන වලට පෙරලන්නට මා ගන්නා අවස්ථාවකි මේ. 

එය සාර්ථක දැයි දන්නේ මේ වෙලාවේ මෙහි නොසිටින ඔබම පමණි. 

හෙට උදාවන දවස අදට වඩා සුබ වේවායි පතමි!

Saturday, November 27, 2021

Honda CG125





Honda CG125 (1976-85)

Pic credit to https://www.motorcyclespecifications.com/honda-cg125-1976-85/  










Honda CG125 (1993)


 මෝටර් බයිසිකලයක් නොපැද්දාට හැමදාමත් කැමැත්තෙන් හිටපු මෝටර් බයිසිකලයක් තමයි මේක. වීසි කරන්න නියමිත වෙලා තිබුනු මේ පොත මෙහෙම වත් බේරුනේ ඒ හින්දා



Monday, May 3, 2021

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවි...

ජීවිතයේ නොයෙක් අවධීන් පසු කොට තත්ත්පර විනාඩි පැය එකට එකතු වී දින මාස අවුරුදු හරහා කාලය ගත වී ගොසින් අපි අද යම් තැනක රැඳී සිටින්නෙමු. රාත්‍රියේ හිරු ඇත ක්ෂිතිජයෙන් මුහුදේ ගිලී ගිය පසු උදාවන අලුත් දවසක අපි කොහේ කොතැනක සිටීවිදැයි කීමට දැනට හැකියාවක් නැත. මේ ගත කරන අවදානම් සමයේ අප මේ කතා කවදා කොතැනක කෙළවරක් වේ දෝ දැයි කීමට කොහෙත්ම හැකියාවක් ඇත්තේ නැත.

නැවත හැරී බැලූවිට අප පසුකල ඒ කාලයන්හි අමතක නොවන සහ තවත් සමහර සොඳුරු අවස්ථා සිහියට නැගෙන්නේ ඒ අවස්ථාවන් ඡායාරූප ගත කොට සුරැකිව තබා ගත් හෙයිනි. පෞද්ගලික හෝ පොදු හෝ කරුණ නොසලකා "අතීතය පටිගත කළ" එම ඡායාරූප දෙස මඳක් අවධානය යොමු කල විට, සමහර අවස්ථාවන් වලදී මතකයට නොනැගෙන පැරණි මතකයන් පවා, යළි ජීවමාන වීම වළකාලනු නොහැක. (මා මේ ලියන අවස්ථාවේ සලකන්නේ ඡායාරූපයක ඇති ලස්සන හෝ සුන්දරත්වය හෝ නොව එහි ඇති පසුබිම් කතාව පමණි)

වසර 1980 ගණන් වල මුල් භාගයේ ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය මගින් පළ කළ යොවුන් ජනතා පත්‍රයේ පළවූ ඡායාරූප ගැනීමේ කලාව අළලා වූ ප්‍රසන්න හෙන්නායක මහතා විසින් රචිත විශේෂාංගය කියවීම හරහා ඇති වූ උනන්දුව, පාසලේ ඡායාරූප සංගමය හරහා හෑගොඩ සර්ගෙන් ලත් ඉගෙනුම හරහා යම් ප්‍රමාණයකට ඔප මට්ටම් ව ඒ පිළිබඳව අද මෙසේ අකුරු කරන්නට මට හැකි විය. 

පටන් ගැන්මේ දී ඥාති හිත මිතුරන් ගෙන් ඉල්ලාගත් කැමරා වලින් පින්තූර ගත් මම 1998 වර්ෂයේ දී පුවත්පත් දැන්වීමක් අනුව කොහුවල දී ප්‍රසන්න හෙන්නායක මහතාගෙන් මාගේ මුල්ම Nikon FM10 වර්ගයේ SLR කැමරාව මිලදී ගත්තෙමි. පසුව එයට Vivitar zoom lens එකක්ද එකතු කොට යම් ආකාරයකට ඡායාරූප ගැනීම සඳහා සන්නද්ධ වූයෙමි. ලංකාවේ Kodak නියෝජිතයන් හරහා සේයා පටල වලට සහ ඡායාරූප මුද්‍රණය කිරීමේදී ලැබුණු වට්ටම් නිසා මගේ ඡායාරූප ගැනීමේ සහ මිතුරන්ගේ පිංතූර අරන් දීමේ සත්කාර එවක ජයටම සිදු වූවා. පසු කළෙක මගේ සහෝදරයා විසින් තෑගි කළ Canon S2IS digital කැමරාව හේතුවෙන් සහ එහි පහසුව හේතුවෙන් සේයා පටල ක්‍රම ක්‍රමයෙන් අමතක කොට Memory card මතට ඡායාරූප සටහන් වීම මාරු වුණා. 

මෙසේ කාලය ධනය ශ්‍රමය වැය කරමින් එදා ගත් සමහර ඡායාරූප අද මා සතුව නැහැ. සේයා පටල භාවිතා කල කාලයේදී ගන්නා ලද බොහෝ ඡායාරූප සහ එම negative පට අද කාලය සමගම විනාශ වී ගොසින්. ඡායාරූපවලින් කොටසක් Scan කොට සංරක්ෂණය කරගැනීමට හැකි වූවත් විනාශ වුණු ඒ මතකයන් නැවත ගොඩ ගැනීමට නොහැක්කක්. ජීවිත ගමනේ කාලය ගත වෙද්දී වියැකෙන මතකය ඔස්සේ ඉදිරියේදී සමහර මතකයන් ඡායාරූප ඔස්සේ පමණක් මතකයට නැගේවි. ඡායාරූපයක් දුටු කල ඒ සමඟම මතකයට එන පසුබිම් කරුණු දැනට වඩා අඩු හෝ වැඩි හෝ වේවි. 

මා සතුව නැතත් ඒ දින වල මුද්‍රණය කළා වූ සමහර පිටපත් මා හිත මිතුරන් සතුව පවතිනවා. මට වඩා ඔවුන් ඒවාට ඇළුම් කරන බව මට විස්වාසයක් පවතිනවා (අවාසනාවකට එම පිටපත් Scan කරගැනීම පිණිස ඉල්ලූ නමුදු ලැබුනේ අයහපත් ප්‍රතිචාරයක්. කෙසේ වෙතත් ඒවා දුටු විටෙක හෝ මා සිහි වන්නේ නම් එයද යහපති)

සේයා පටල යොදන කැමරා වලින් පසු ඩිජිටල් කැමරා සහ ජංගම දුරකථන කැමරා හරහා මේ වන විට විශාල ප්‍රමාණයක් ඡායාරූප එකතු කොට ඇත්තෙමි. මෑත කාලයේ දී ගන්නා ලද ඡායාරූප අන්තර්ජාලයේ සහ පරිගණක යන්ත්‍රවල ගබඩා කරගෙන සිටින නමුදු අනාගතයේ දී ඒවාට ද ලැබෙන ඉරණම කුමක්දැයි මා නොදනිමි. සමහරවිට මාගේ ජීවිතය සමගම ඒවා ද හිස් අවකාශයට එකතු වනු ඇත. අන්තර්ජාල අවකාශය පවතින තුරු තවත් සමහරක් රැඳී පවතිනු ඇත. 

නමුදු එම ඡායාරූප අනාගතයේ යම් දිනයක, යම් හෙයකින් හෝ ඔබේ නෙත ගැටුනහොත් ඒවායේ පෙනී සිටින්නන් හට සහ එම ස්ථානයන්, එමෙන්ම ඒ පසුකල සොඳුරු අවස්ථා සියල්ල නැවත සිහියට එනු ඇත. එය සිතට නැගෙන සිතුවිල්ලෙන් හට ගන්නා වූ මන්දස්මිතයකින් හෝ ඇස් කෙවෙනි තෙත් කොට කඳුළකින් හෝ අවසන් විය හැක.  

ඒ මා ලබන සතුටයි. ඒ මගේ කඳුළයි. ඒ මා ඔබ සමග බෙදා ගන්නා සංවේදනාවයි.

සුභ රාත්‍රියක්

හසිත එරන්ද පෙරේරා
2021 මැයි මස 3 වන දින



(මගේ ඡායාරූප ගැනීමේ ආශාවන් මුදුන්පත් කර ගැනීම සඳහා නොයෙකුත් ආකාරයෙන් මට සහාය වූ සහ මාගේ ඉල්ලීම් සලකා විශ්වාසයෙන් යුතුව මට තමන්ගේ වටිනා කැමරාවන් ලබාදුන් සියලු දෙනාම කෘතඥතා පූර්වකව සිහිකරනවා.)

Sunday, August 16, 2020

...දවසක හමු වෙමු හමු වී හිනැහෙමු හිනැහී වැළපෙමු අපි ආයේ…

මුව ළඟට පිරි තිබූ වීදුරු කෙමෙන් කෙමෙන් හිස්ව යද්දී..


පැහැදිලිව තිබූ වීදුරු ජනේල මත සිහින් මීදුම පතිතව අවට දසුන් බොඳ වෙද්දී…


නිහඬව තිබූ පරිසරයේ එතෙක් නිසලව තිබූ මිනිස් රූ සංගීත නාදරටා සමග ඒකාත්මික වෙද්දී මට දැනුනේ මහත් තනි කමක්. 


ඒ කුමක් නිසාදැයි නිශ්චිත වශයෙන් ම නොදැනුනත් මගේ සිත, ගෙදර සුවසේ මව සමග නිදනවා ඇතැයි මා සිතූ පුතු සහ දියණිය හරහා අතීතයට පලා ගිය බව පමණක් කිව හැකියි. 


වාදනය වන විවිධ ගීත තුළින් සිතට නැගුනා වූ මතකයන් එකිනෙක ගැටෙද්දි මම බලා සිටියා නොපෙනෙන මානයක් වෙත. හෙට මම කොතැනක හිඳීවිද.. කුමක් කවදා කෙලෙසක සිදු වේවිද.. 


ගණන් කළ නොහැකි සිතුවිලි ප්‍රමාණයක් මසිත වෙලා ගෙන. සිනා හඬ ගීත ගායනා කරන හඬ පරයා මගේ සිත වෙනත් දිශාවකට ගමන් කරනවා. ඒ මොහොතේ සියළු වැඩ නවතා ඉක්මණින් කළ යුතු යැයි මගේ සිත වද දුන් කාරණය, මම මෙලෙස සටහන් කළා අසම්පූර්ණ වචන කීපයක. 


සිතට නැගුණු ඒ කරුණු සියල්ලම මෙලෙස වචන ලෙස ගලපා එම සිතුවිලි වෙත සාධාරණයක් ඉටු කළාදැයි කීමට මම නොදන්නෙමි. මේ රාත්‍රී යාමයේ ඇසූ සහ සිතින් මිමිනූ එක් ගීත කොටසක් පමණක් සටහන් කොට මේ වචන කීපයට තිත තබමි. 


සුභ රාත්‍රියක්..!


...දවසක හමු වෙමු

හමු වී හිනැහෙමු

හිනැහී වැළපෙමු 

අපි ආයේ…


හසිත එරන්ද පෙරේරා

16-06-2020