Tuesday, July 28, 2026

ජීවිතයේ දිගු රෑ යාමේ

මේ ගීතය මම ඇසුවේ මුදිත මහතාගේ infolankamiyurugee චැනලයෙන්. 

ගීතය අඩංගු වුණේ කැසට් පටියක. නිමල් මෙන්ඩිස් 2 නිල් දිය රැල්ලේ කැසටය. එහි කවරයේ ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ, මොරිස් බානි විජේසිංහ සහ සරත් යනුවෙන් සඳහන් ව තිබෙනවා. 

මේ විස්තර කැසට් කවරයෙන් උපුටා ගත්තේ. 

නිමල් මෙන්ඩිස් 2 - නිල් දිය රැල්ලේ

SIDE - A

  1. ජීවිතයේ දිගු රෑ යාමේනීලා / ගාමිණී විජේතුංග
  2. පුතුමා ගිසේටී. එම්. / ගාමිණී විජේතුංග
  3. සුදු උන්නැහේමොරිස් / රොමානොල් පෙරේරා පියනම
  4. මීවිත ගීතයනීලා / කේ. ෆ්‍රැන්සිස්
  5. නොලියූ කවියකමොරිස් / ගාමිණී විජේතුංග
  6. ගිරි ගිසින්නීලා / ගාමිණී විජේතුංග

SIDE - B

  1. මහවැලි ගීතයනිමල් / ගාමිණී විජේතුංග
  2. රෑහි නිදි නැතිනීලා / ගාමිණී විජේතුංග
  3. නැවියාගේ ගීතයමොරිස් / ගාමිණී විජේතුංග
  4. ඇල් පවනැල්ලේටී. එම්. / ගාමිණී විජේතුංග
  5. දරු නැලවිල්ලමොරිස් / ගාමිණී විජේතුංග
  6. දම් බෝවිටියාමොරිස් / ගාමිණී විජේතුංග
  • ගායනය:
    • ටී. එම්. ජයරත්න
    • නීලා වික්‍රමසිංහ
    • භානි මොරිස් විජේසිංහ
    • නිමල් මෙන්ඩිස්
  • සංගීතය:
    • නිමල් මෙන්ඩිස්
    • සරත් ප්‍රනාන්දු
    • සමන් කුඹුකගේ
  • නාද සංයෝජනය: සරත් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය: නෙරන්ජන්  සිල්වා (පෝල් මැරි ශබ්දාගාරය, ඇතුල්කෝට්ටේ)
  • කවර නිර්මාණය: තිස්ස වීරවර්ධන
  • බෙදාහැරීම: ප්‍රියංකා රෙකෝඩ්බාර්, පිටකොටුව

මේ ගීතයේ සංගීතය සහ පද මාලාව මගෙ සිත් ගත් නිසා සහ එහි විස්තර අන්තර්ජාලයේ කොතැනකවත් නොතිබුණ නිසා මම මෙහි ලිව්වා ඒ ගැන මට හැකි සාධාරණයක් කරන්නට. 

ගීතය උපුටා ගැනීම @infolankamiyurugee 

එහි youtube ලිපිනය https://www.youtube.com/@infolankamiyurugee

ගීතය අහන්න https://youtu.be/i9EOw0woNFI?si=1ENBnc41GP1P6Br3


ජීවිතයේ දිගු රෑ යාමේ 

පැටලී දෙනෙතේ හඬවා රහසේ 

මා හොවා අතීතයේ 

හිනැහේ ඔබ මා 

නුවන් දියේ 

ජීවිතයේ දිගු රෑ යාමේ 


ඔබේ සුවඳේ තනි වූ සිත මා 

රෑ අහසේ තරු සේ වැලපෙන්නේ 

නෙතු අගින් නුරා 

ඇදී මහද අරා 

නොපැතූ ලෙසින් ඔබේ හස කැළුම් උතුරා බසී 

සිනා සිසී 

සිනා සි සී 


ජීවිතයේ දිගු රෑ යාමේ 

දුටු සීනය මා ඔබේ ආදරේ 

මා හොවා අතීතයේ 

හිනැහේ ඔබ මා 

නුවන් දියේ 

ජීවිතයේ දිගු රෑ යාමේ 


ඔබේ සුවඳේ තනිවූ සිත මා 

රෑ අහසේ තරු සේ වැලපෙන්නේ 

නෙතු අගින් නුරා 

ඇදී මහද අරා 

නොපැතූ ලෙසින් ඔබේ හස කැළුම් උතුරා බසී 

සිනා සිසී 

සිනා සි සී


ජීවිතයේ දිගු රෑ යාමේ

දුටු සීනය මා ඔබේ ආදරේ..






අහලා බලන්න. ඔබේ අදහස ලියන්න

Sunday, July 19, 2026

හෙමින් සැරේ පියා විදා...

කාලෙකට පස්සේ අද මට පානදුරේ අවට සැරි සරන්න ලැබුනා නිදහසේ. 

එය ඇත්තටම නිදහසක්ම නොව අපගේ ජීවිත මත පැවරුණු නොයෙකුත් රාජකාරී මධ්‍යයේ ඉටු කල යුතු සමාජයීය වගකීම් ඉටු කිරීමක්. දිගු කලකට පසු මාගේ සහෝදරයා සහ ඔහුගේ පවුලේ අය මුණ ගැසීමත්, රාත්‍රියේ කළුතර මා මිතුරෙකුගේ නිවසේ පැවැත්වෙන පිරිත් පිංකමකට සහභාගී වීම හේතුවෙන් ලැබුණු අවස්ථාවක්. එලෙස තනිවම ඇවිදීමට ලැබීම කොතරම් දිගු කාලයකට පසු දැයි මට දැනුණේ උපන් ගමට ආ පසු මුණ ගැසුනු නොයෙක් නාඳුනන මුහුණු, ප්‍රශ්ණාර්ථයක්ව නැවත මගේ දෙසටම එල්ල වන්නට වූ පසුව. මම ඔවුන් හඳුනන්නේ නෑ නැත්නම් ඔවුන්හට මාව හඳුනා ගන්නට බැහැ, පානදුරෙන් මගෙ පදිංචිය වෙනස් වෙලා දැන් අවුරුදු බර ගණනක්. තවත් විස්තර ඇතුව කිව්වොත් මගේ සියල්ල එහි තිබෙනවා මා හැර.


කෙටි බස් රථ ගමනක් සහ ඉන් පසු පයින් ඇවිදගෙන ගෙදරට ආවා. එලෙස ගෙදරට ආ පසු වෙනදාට ලැබෙන අම්මාගේ තේ එක අද ලැබුනේ නැහැ. එනමුත් අම්මා දෙස බැලූ කල ඇයටත් එළෙසම මතක් වන්නට ඇතැයි සිතුනේ මහන්සි දැයි ඇය ඇසූ විටයි. අසනීප වූ පසු වෙනදා මෙන් ඇගේ ජීවිතය දැන් සාමාන්‍ය නැහැ. ඇයට තනිවම වැඩ කටයුතු කර ගැනීම අපහසුයි. පසු ගිය කාලයේ ඇය මුහුණ දුන් අතෝරක් නැති කරදර බොහෝ විට තනිවම දරා ගනිමින් අප ජීවිත සාමාන්‍යාකාරයෙන් ගත කිරීම සැලැස්වීමට ඇය ඉමහත් වෙහෙසක් ගත්තා. මාමලා සහ පුංචි අම්මලා ඇතුලු මම නම් වශයෙන් නොකීවත් සහය දුන් සියළු දෙනාගේම වෙහෙස මධ්‍යයේ අද අම්මා මේ ආකාරයෙන් හෝ සුවපත්ව සිටීම සිතට මහත් සහනයක්. තමන්ගේ අමාරු ගැන නොසිතා ඇය තවමත් අපගේ මතු සුබ සිද්ධිය තකා වෙහෙසෙනවා. හැම දෙයක් ගැනම සිතනවා. එදා මෙන්ම අදත්, එළෙසම මතුවටත් ඇය තම දරු දෙදෙනා ගැන සිතමින් වෙහෙස වනු ඇති.


තේ කෝප්පය මතක් වූවාත් සමගම මතක් වුන තවත් දෙයක් සිතුවිලි වෙනතකට යොමු කලා, කුඩා කළ පාසල් කාලයෙන් පසු අප නිවසට යන්නට පෙර පුරුද්දක් වශයෙන් මහවිල අම්මාගේ මහ ගෙදරට ගොස් කා බී පත්තරය බලා ගිමන් හැරීමත් සමහර දින වල අම්මාද ප්‍රමාද වී පාසලින් පැමිණී දිනවල අප තුන් දෙනාම පයින්ම අප නිවසට යාමත් සිදු කෙරුනා. අප සාමාන්‍යයෙන් පැමිණෙන වෙලාව සවස 3ට පමණ. ආච්චිගේ තේ කෝප්පය ලැබෙන තෙක් ආතා ගෙන් ඉල්ලා ගෙන පත්තරය බලමින් එහි ඇති සියලුම දෑ කියවන මට වෙලාව ගත වීම දැනුණේ නැහැ. දිවයින පත්තරේ බදාදා අතිරේකය නිසා විශේෂයෙන් බදාදාට පත්තරය බලන වෙලාව වැඩියි. ආච්චි සාදා දෙන තේ කෝප්පය බිව් පසු මහන්සිය කොහෙන් ගියා දැයි දන්නේ නෑ, පසු කලෙක ඒ තේ කෝප්පය සාදා දුන්නේ අම්මා. ඒ රසට උණු තේ කෝප්පයක් නැවත ලැබෙන්නේ නැහැ.


අද මෙන් කාපට් අතුරා පළලින් යුතු පාරවල් නොතිබූ ඒ සමයේ වාහන ගමන් කලේ ද සාපේක්ශව අඩු වශයෙන්. බස් රථ දෙකක් මාරු වීමට තරම් පළලින් ‍යුතු ගල් අතුරා තාර දමා තිබූ එමෙන්ම අතරින් පතර කැඩී බිඳී තිබූ පානදුර හොරණ පාර ඔස්සේ අප පයින්ම ඇවිද ගියා. ගමනේ මුලින්ම පුරන්ව තිබුනු මහවිල වෙල් යායත් ඒ මැද ඇල මාර්ගය සහ යකඩ ඇඳි සහිත පටු පාලමත් පිංකොටුව හන්දිය ඊට පසු ඇවරිවත්ත පාරත් පසු කොට පමුණුගම දක්වා අප ගමන් මග යෙදී තිබුණා. කිලෝ මීටරයක් හෝ ඊට අඩු දිගු ගමනේ අතරමග හමුවන මිතුරන් වෙත ආචාර පවත්වමින් බරැති පාසල් බෑගය කර මත එල්ලා ගෙන ‍යන ගමන කවදාවත් වෙහෙසකර වූයේ නැහැ. ගමන අතරමග වැඩි වශයෙන් තිබුණේ නිවාස සහ අතලොස්සක් වූ කඩ සාප්පු. ගමන අතරමග අයිවන් මුදලාලිගේ කඩයෙන් ටොපි හෝ චොකලට්, බුල්ටෝ ලැබීම අත ඇති මුදල අනුව තීරණය වුනා.


සමහර දින වලදී ගම් සභා පුස්තකාලය වෙත ගොස් කියවූ පොත් බාර දී අලුත් පොත් තෝරා මාරු කොට අනිකුත් පත්තර ද බලා පුස්තකාලය වසන තුරුම එහි කාලය ගත කලා. තාත්තාගේ හිත මිතුරන් එහි වූ නිසා අපගේම තැනක් වූ තල්පිටිබද්ද ගම්සභා උප කාර්‍යාලයේ පුස්තකාලය එක් අඳුරු රාත්‍රියක ගිනිබත් වන තුරු ඒ දක්වා අපගේ කියවීමේ පිපාසය නිවමින් සේවය සැලසුවා. සමහර දිනවල අප එලියට බහින්නේ පුස්තකාලය වසා එහි කාර්‍ය මණ්ඩලය පිටත් වන්නට සැරසෙන විට. අමතර පංති කිසිවක් නොතිබූ ඒ කාලය හරිම සුවපත් එකක්.


රාත්‍රිය උදා වී ඇත්නම් ආච්චී හෝ ආතා, ඔවුන්ගෙන් කෙනෙකු වෙහෙස නොබලා අප සමග නිවසට යාමට පැමිණීමත් යම් හෙයකින් අපගේ ප්‍රමාද දරා ගත නොහැකිව අප සෙවීමට පැමිණෙන අම්මා හෝ තාත්තා මගදී හමු වීම සිදු විය. එය ඉතාමත්ම කලාතුරකින් සිදුවූ අතර අද මෙන් ජීවිත කාර්‍ය බහුල නොවූ එ සමයේ අඳුර වැටීමට පෙර නිවසට යාම අප පුරුද්දක්ව පැවතිණි. මෙකල මෙන් වීදි පහන් බහුලව නොමැති වූ ඒ කාලයේ විදුලි පන්දම් නොහොත් ටෝච් සමග රාත්‍රී ගමන් තාත්තා සමග සිදු විනි. රාත්‍රීන් බොහෝ නිසල හා නිශ්ශබ්ද වූ අතර සමහර දිනක අහල පහලක ගෙදරක හඬ අඩුවෙන් ක්‍රියා කරන රේඩියෝවක ශබ්දය ඈතට පවා පැහැදිලිව ඇසෙන මට්ටමක පැවතිනි.


අද මෙන් නිවෙස් වටා තාප්ප ඉදිකර ගේට්ටු දමා අගුළු ළා නොතිබූ සමයක එන ඕනෑම වෙලාවක අප පිළිගත් ආච්චිත් ආතාත් සහ ඔවුන්ගේ සත්කාර තවමත් මතකයෙහි රැඳී පවතී. කාලය ගත වීමත් සමග ඔවුන් සමග ගත කල සමය කෙමෙන් නිමා වූවද ඔවුන් අපගේ පැමිණීම බලාපොරොත්තු වූ බව මම ඉඳුරාම දනිමි. එලෙස ආච්චිලාගෙ ගෙදර යන පුරුද්ද නතර වුනේ ආතා මෙන්ම ආච්චීද මිය පරලොව ගොස් කාලයකට පසුය. ඒ අප නව නිවසටද ගිය පසුව.


කාලය ගත වී ගොස් අපද වෙනස් වී ඒ හා සමානුපාතිකව අද තත්ත්වය හාත්පසින්ම වෙනස් වූවත් මහවිල කන්ද පාමුල, හොරණ පාර අයිනේ වූ ගැට පිච්ච මල් වැටත් සේපාලිකා මල් ගහත් ඇතුලු ඒ නිවස අප කුඩා කල ගත කල ඒ ජීවිතය මතකයේ බැඳී පවතිනු ඇත. මම නැවත වරක් අම්මා බලන්නට එන බලාපොරොත්තුවෙන් මගේ නවාතැන වෙත පිටත්ව යන්නෙමි.


මේ වචන කිහිපය මා මුලින් සඳහන් කල ඒ සිතුවිලි නිදහසේ සැරි සැරීම තව දුරටත් නතර කරගත නොහැකිව, තෙරපෙන සිත නිදහස් කර ගැනීමක්. අප හමු නොවනා ඒ අතීතය අදට මම අවසන් කරමි.

01-12-2024

Thursday, July 16, 2026

අතීතයෙන් ගඟ ගලා බසී

තිස්සමහාරාමයේ සේවය කල අවධියේ, දිනෙක රාත්‍රියේ වෑඩ හමාර ව පැමිණ රූපවාහිනී යන්ත්‍රය ඉදිරිපිට විවේකයක් ගන්නා වෙලාවක. ඒ එක් එක් නාලිකා මතින් බලන්නට සුදුසු යමක් සොයමින් ‘ගතකල’ කාලයක්. කොතරම් දේවල් තිබුනත් මට ගැලපෙන බලන්නට සුදුසු යමක් සොයා ගැනීම වරුවක් තරම් කාලයක් ගතවන ක්‍රියාවලියක්. ඒ මොහොතට ගැලපෙන යමක් සොයා මම තවත් වෙලාව වැය කරමින් සිටියේ. 


මෙහෙම යද්දි මට සිංහල කළු සුදු චිත්‍රපටයක් තිරයේ දිස් වුනා. එහි තිබූ වාර්තාමය ගතිය නිසා චැනලය මාරු කරන්නට සූදානම් වෙද්දී එක වරම පැරණි කොළඹ නගරයේ රූප රාමු පෙලක් පෙනෙන්න්ට පටන් ගත්තා. රූපරාමු ගෝල්ෆේස් පිටිය පසු කොට කොටුව පැත්තට යද්දී වට රවුම පසුකොට මුහුදු වෙරල ඔස්සේ ඇති පාරත් ඈතින් පෙනෙන වරාය චෛත්‍යයත් මගෙ මනස ගෙන ගියා පැරණි මතකයක් වෙත. එම චෛත්‍යයත් එය වෙත ඇතුල් වීමට ඇති පඩි පෙලත් සමග බැඳුණු ඒ මොහොත මට මගේ තාත්තා සමග අතීතයේ පෙබරවාරි 4 වැනිදා, නිදහස් දිනයෙක කොළඹ ගිය ගමනක් මතක් කලා. 


උදෑසන අවදිව තාත්තා සමග ඒ ගිය ගමන සම්බන්ධයෙන් සිදුවූ සියල්ල මතක නැතත්. සමහර දේවල් හොඳින් මතකයේ තියෙනවා. මල්ලී පොඩි නිසා ඔහුව එක්ක ගියේ නැහැ. පානදුර බස් නැවතුම්පලින් පිටකොටුව ලංගම බස් රථයක නැගී කවුළුවක් අසල ආසනයක වාඩි වී වට පිට බලමින් ගිය ගමන සහ ඊට පසුව මොහොතක ගාළු මුවදොර අසලින් බැස පයින් ගමන් කොට චෛත්‍යය පාර ඔස්සේ පාර දෙපස තිබූ පැරණි කොටුවේ මං සලකුණු ඔස්සේ අප දෙදෙනා අව්වෙ පයින්ම එතැනට ගියා. ඒ දිනවල කොළඹ මොරිස් මයිනර් මීටර් ටැක්සි තිබුණු කාලෙ. 


චෛත්‍යය වෙත ඉහලට නැගීමට ඉදිකොට තිබූ පඩි පෙල ඔස්සේ ගමන් කොට අවට නැරඹූ බව මතකයේ තියෙනවා. ඊට පසු හෝ ඉහලට නගිද්දී තාත්තා මට ඇස් වසා ගැනීමට කියා ඉහලට ගමන් කල බවත් සුළු මොහොතකට පසු ඇස්පිය හරිද්දී ඔහු ඉහලින් නොව පහලින් මතු වූ බහත් මට මතකයි. මා මවිත කරන්නට ඔහු කුමක් හෝ දෙයක් කල බවත් ඉහලට ගිය ඔහු පහල තට්ටුවෙන් මතුවූ බවත් මට මහත් ප්‍රහේලිකාවක් වුනා. ගමන් වෙහෙසත් අව්වේ ගමන් කොට ඇති වූ පිපාසයත් පඩි නැගීමෙන් ඇති වූ හතියත් අමතක කරන්නට මට ඒ මොහොත මහත් අස්වැසීල්ලක් වුනා. හවස් යාමය දක්වා එදා ඒ ගමන යෙදී තිබුනේ අවසානයට පියකොටුව දක්වා ඇවිද ගොස්. අම්මාටත් මල්ලීටත් පිටකොටුවෙන් මොනවා හෝ ගත් බව මතකයේ තිබුනද ඒ මොනවාදැයි නම් මතක නැහැ


අසූව දශකය ආරම්භ වන විටම අප පවුලට උදාවුනේ සුබ තත්ත්වයක් නෙවෙයි. තාත්තා දේශපාලන කටයුතු වල නොයෙදුනත්  පසුව ඔහු අයත් වූයේ අසූව වැඩ වර්ජකයන්ගේ සංගමයට. 1994 වසර දක්වා ඔහු ඒ දුක වින්දා. ජීවිතේ හොඳම කාලයේ තම රැකියාව අහිමිව සිටින්නට ඔහුට සිදුවුනා. දේශපාලන ගැත්තන් පසුපස නොගිය ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් සොයා ගත්තා. එයට ඔහුගේ මිතුරෙකු උදව් කලා. අප කුඩා කල විඳි දුක් ගැහැට කොපමණ අල්ප වූවද අපට ඒ කරදර පවා නොදැනෙන්නට අම්මාත් තාත්තාත් විඳි දුක් ගැහැට දන්නේ ඔවුන් පමණයි.  


මා යම් කලෙක රැකියාවක් ලැබ ඔවුන්ගේ ජීවිත ගමනට ශක්තියක් වන්නට මුල පුරද්දී අකාලයේ තාත්තා ජීවිතයෙන් සමු ගත්තා. උදෑසන ඔහුට කතාකොට කාර්‍යාලයට පැමිණි මා ඔහු බලන්නට රෝහලට යද්දී ඔහු ජීවිතය හැර ගිහින්. ගාල්ලේ අම්බලන්වත්තේ ඉපදී ගාල්ලේ පාසල් ගොස් අවසන පානදුරේ පදිංචිව සිටි ඔහුගේ නිසල සිරුර දුමාරයක් ලෙස වා තලයට මුසු වූ බණ්ඩාරගම සුසාන භූමියේ ගල් පුවරුවක ඔහුගේ මතකය ලෙස ලියැවී තියෙනවා. 


කාලයත් සමග මතකයන් කෙමින් කෙමින් වියැකී යන කලක මේ අකුරු කිහිපය සංස්කරණය කරන්නට මට මාස කිහිපයක් ගතවුනා. අම්මා සහ තාත්තා ගැන මතකය සහ අම්මා අදටත් ජීවිතයට ලබා දෙන ශක්තිය වචන වලින් ලියා නිම කල නොහැකි එකක්. එවන් මතකයන් කවදාවත් සිතින් මැකී නොයන්නට පතන්නෙමි.