Friday, September 6, 2019

පුස්තකාල ගමන

මේ රෑ ජාමේ දත්ත අනුභව කරමින් කොම්පැණි පෝසත් කරන්නට මේකේ උඩට යටට යමින්  සිටි අතරේ දුටු පෝස්ට් එකක්. ඒකේ තිබුනේ අම්මා කෙනෙක් පුතාට කියවන්න සුදුසු පොත් වල නම් ඉල්ලලා. පුතා තමන් කියවපු පොත් වල නම් ලියලා පොතකුත් හදලා. 

ඉතින් මේ කියන්න හැදුවෙ පොඩි දවස් වල මං ගැන. එක දාස් නමසිය අසූ ගණන්  වල මුල් කාලේ මටත් තිබුණා ඔය වගේ ප්‍රශ්නයක්. ඒ දවස් වල පත්තර බලනවා. අහුවෙන අහුවෙන දේම කියවනවා. සීයාගේ බණ පොත් හැරුණු කොට ගෙදර තිබුන පොත් සියල්ලම කියවලා ඉවර වුනාට පස්සේ ඔහොම ඉන්න කොට දවසක් තාත්තා මාව එක්ක ගෙන ගියා තැනකට.

එතන නම තමයි තල්පිටිබද්ද උප කාර්යාලය, දැන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අයිති. අපි කිව්වේ V.C. ඔෆිස් එක කියලා. එතැන කාර්යාලය පිටුපස තිබුණු පැරණි  ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය පුස්තකාලයට. ඇත්තටම පුස්තකාලය තිබුනේ කලින් පවත්වාගෙන ගිය විදුලි උපපොලේ. තාත්තා පළාත් පාලන සේවයේ හිටපු නිසා එම කාර්යාලයේ ඔහුගේ සමකාලීන මිත්‍රයින් අපි කවුදැයි කියා දැන හැඳින සිටියා. 

එතනට ගියාම මගේ වයස අහලා බලන කොට මට සාමාජිකත්වය ගන්න බැහැ. පොඩි වැඩියි. ඒ වෙනකොට කීවෙනි පන්තියේ හිටියද කියලා නම් මතකයක් නැහැ. ඉතින් තාත්තාගේ ඇඳුණුම් කම පාවිච්චි කරලා සාමාජිකත්වය තාත්තාටත් පොත් මටත් ගන්න පුළුවන් විදියට වැඩේ ලෑස්ති කරගත්තා. මම කලින් පුස්තකාල දැකලා තිබුණට පාවිච්චි කරලා තිබුණේ නැහැ. මේ පළමු අත්දැකීම. ඉඩකඩ අඩු වුණත් පොත් විශාල ප්‍රමාණයක් එහි තිබුණා. බැහැර ගෙන යාමට දෙන පොත් වගේම එහි සිට පරිහරණය කිරීම සඳහාත් පොත් තිබුණා. එකල පළකල සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් සියල්ලම පාහේ එහි මේස වල ලී පටි වලින් තද කොට පාඨක පරිහරණය ට තබා තිබුණා. දිනමිණ ඩේලි නිව්ස් වැනි ලේක්හවුස් පත්තර සියල්ලම සහ නම් මතක නැති තවත් වාර සඟරා බොහෝ ගණනක් එහි තිබුණා. මේ සියල්ල ආරක්ෂා කරන්නට පුස්තකාලයාධිපතිනියක් එහි අරක් ගෙන සිටියා. සාමාජිකත්වය සඳහා කොළපාට කුඩා කාඩ්පත් දෙකක් මට ලැබුණා. හා හාපුරා කියා මා විසින් ලබා ගත් පොත් දෙකත් රැගෙන ඉක්මණින් ගෙදර ගියේ හැකි ඉක්මනින් කියවා නිමාකොට තවත් අලුත් පොත් දෙකක් වෙත මාරු වෙන්නට. කෙසේ හෝ දිවා කාලයේ මා නැවත ගොස් පොත් මාරුකර ගත්තා. කලක් ගතවන විට මල්ලිිත් පොත් කියවීමට හුරු වූ නිසා ගෙන එන පොත් ගෙදර රැඳෙන කාලය වැඩි වුණා. පොත් ගෙනයාමට අඬ දබර ඇති කරගත් අප දෙදෙනා පුස්තකාලයේ නිත්‍ය සාමාජිකයන් බවට නිතැතින්ම පත් වුණා. අප වාසය කල ගෙදර සහ අප නිතර රැඳෙන, අාච්චිලාගේ ගෙදර අතරමැද පිහිටා තිබූ නිසා පුස්තකාල ගමන අසිිරු එකක් වූයේ ද නැහැ. අම්මාට අනුව අප කළ එකම වරද වූයේ කියවන්නට ගත් පසු වේලාව ගත වීම අපගේ සිත් වලට විශේෂයෙන්ම ඔළුවට දැනෙන්නේ නැති වීමයි. මේ නිසා ආහාර පිසීම පමණක් නොව පිස අහවර වී අප දෙදෙනාටම කැවීමටත් අම්මාට සිදු වුණ වාර බොහෝයි. 

තාත්තා හඳුනන කෙනෙකුන් වූ පුස්තකාලයේ අධිපතීන් විසින් අපට "තහනම්" කළ නවකතා පොත් සහ බැහැර ගෙන යාමට නොදෙන පොත් හැරුණු කොට අප දෙදෙනා වැඩි කලක් යන්නට පෙර පුස්තකාලයේ ඇති සියලු පොත් කියවා අවසන් කොට තිබුණා. එයින් සමහර පොත් දෙතුන් වතාවක් කියවා තිබුණා. 

එක් වරක් "ග්‍රීම් කතා" පොත පාසලේදී නැතිකරගත් මම පොත ප්‍රමාද ගාස්තු සමගින්ම අලුත්ම පොතක් ලෙස නැවත පුස්තකාලයට බාර දුන්නා. 

පසු කලෙක වැඩීම දුර්වල වූවත් වසරින් වසර අලුතින් පොත් එකතු වෙමින්, අප ජිිවිත වලට මහා වෘක්ෂයක් වන් වූ මේ පුස්තකාලය එක් දහස් නවසිය අසූ ගණන් වල අග භාගයේදී ගිනිබත් ව අළු බවට පත් වුණා. 

නැවත එම පුස්තකාලය විවෘත වූවත් අප නැවතත් එහි ගියේ නැහැ. 

නැවත සිහි කරද්දී මිහිරි මතක ගෙනෙන අප කුඩා කල ගත කළ ජීවිතයේ සොඳුරු මතකයන් නැවතත් එලෙසම අපට ලැබෙන්නේත් නැහැ. 

මේ සියල්ල ලියවෙන්න හේතුව මා මුලින් කී අම්මාගේ ඉල්ලීම. එය මාගේ සිතේ පැලපදියම් ව අසම්පූර්ණ සටහනක් ලෙස නිදි වර්ජිතව මෙලෙස අකුරු බවට පරිවර්තනය වුණා. 

Thursday, October 4, 2018

How to cut a wayside tree

Just thinking.,

There is a big old tree along a main road with a huge timber value. A person with 'power’ in the society thinking to have the tree value converted in to Rupees. What will he do?

First to have a chat with a person who can influence the other people. He may be a politician or local reporter of a media or a Government servant. If he is a reporter, he has to write an article that this tree is old and can be dangerous to be in a main road where thousands of people pass daily. Others will do other things.

So the nice old tree which gave shelter to all now become a harassment to the so called people. In a couple of days the relevant authorities, in fear that they will have to responsible if the tree fallen, decide to cut the tree. Taking the corpse and selling will be a different story. But this would be the normal course of procedure on CUTTING TREES along the roads

Saturday, September 15, 2018

සහෘද යාමය පසු සටහන්

බොහෝ දේ දකින්න ඉගෙන ගන්න ලැබුණ දිනයක්. උගත් පාඩම් කොමිසම් සභාව තමයි අන්තිමට.

ඉඳගන්නට ආසනයක් තැනක් නැතුව වේගයෙන් ගමන් කරන බස් රථයක තම පියා සමග කිලෝමීටර් දහයක් හෝ පහළොවක් සිට ගෙන ගිය අවුරුදු තුනක හෝ හතරක කුඩා දරුවෙක් සහ එය දුටුවා නොදුටුවා සේ සිටින අප "සාමාන්‍ය මහජනතාව" මුලින්ම මුණ ගැසුණේ.

නෝනාගම හන්දියෙන් බැහැලා අඩිය උස්සන්න හම්බ වුනේ නෑ පොඩි සද්දයක් ඇහුනා පිටිපස්සෙන්. බලනකොට මම ආපු බස් එකේම ආපු සුදු ජෝඩුවක තරුණිය කාණුවේ වැටිලා. බස් නැවතුම අයිනෙන්ම තියෙන්නේ ආවරණයක් නැති කාණු පද්ධතියක්. බස් එකෙන් බැහැල කතාවෙන් කතාව උඩ බලාගෙන ගියොත් කෙලින්ම උරුම වන්නේ කාණුව.

නෝනාගම හන්දියේ ඇති ගජමන් නෝනාගේ පිළිරුව
ගිනි මද්දහනේ පිපාසය වැඩිකමට ම මම කඩේකින් බීම බෝතලයක් බීලා යන්න ඕන තැන පැත්තට හැරිලා සුබ මොහොතින් පාරට අඩිය තිබ්බා. ඒත් මොන පාර පැනිල්ලක්ද., වාහන යනවා යනවා ඉවරයක් නෑ. පාර පනින්න කෙනෙක් ඉන්නකොට වාහනවල Accelerator එක නිකම්ම වැඩ කරන එක ගැන කතාව ඇත්තක්. ඉතින් පැත්තකට වෙලා ටිකක් වෙලා හිටියා. එතකොට තමයි දැක්කේ මනුස්සයෙක් මාතර පැත්තට යන බස් රථයකින් බැස ගන්නවාත් ඒ සමගම ඔහුගේ හිස රැඳුණු තොප්පිය බිම වැටෙනවාත්. ඔහු ඒ දෙස බලා ගෙන හිස බිමට යොමා සිටිනවාත්. දූවිලි අවුස්සා ගෙන බස් රථය ගිය පසු බස් නැවතුමේ සිටි කුඩා දරුවකු පැමිණ එම තොප්පිය අසුලාගෙන ඔහුගේ හිස මත තැබුවා. එම පුද්ගලයාගේ දෑතම තිබුණේ නැහැ. ඒ වෙනුවට සුළඟට වැනෙන ඔහුගේ කමිසයේ අත් දෙක මා දුටුවා.

ඊළඟ සිදුවීම දකින්න ලැබුණේ මම ආපසු එන්න බස් නැවතුම ළඟට පැමිණ විටදී. එතැන හිටියා රැවුල සහ කොන්ඩය වැවුනු වයස්ගත ස්වාමීන් වහන්සේ නමක්. පාවහන් යුවලක් නොපැළඳ සිටියත් ජංගම දුරකතනයක් නම් ලඟ තියෙනවා දැක්කා. කොපමණ අත දැම්මත් පැමිණී බස් රථ වල තිරිංග ප්‍රශ්නයක් නිසාදෝ ඒ සියල්ලම නැවැත්වූයේ හාමුදුරුවෝ පසු කර ගෙන ගොස්. පට සිංගප්පූරු සිවුරු ඇඟ ලූ අසපුවාසී පින්වත් ලොකු ස්වාමීන් වහන්සේලා මෙන් දුටුවන් නෙත් සිත් පැහැර ගන්නා පෙනුමක් නොමැති වූයෙන් අව පැහැ ගත් පඬුවන් සිවුර විසින් නැවැත්වූයේ එක් ලංගම බසයක් පමණයි.

රජී වසන්ත වෙල්ගම සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල  දෙපලගේ කතා වස්තු සියල්ලම අහන්න බැරි වුනත් ඒ හිටි ටිකට බොහෝ දේවල් දැන ගන්න ලැබුනා. එයිනුත් රසයන් පිලිබඳ කතාවත් "මේ තරම් සියුමැලි ද" ගීතයේ වර්තමානයේ තත්ත්වයත් වැදගත්. ශබ්ද පරිපාලනයේ ගැටළුවක් නොවේ නම් ඔවුන් දෙදෙනාගේම කටහඬ පැහැදිලිව අහන්න ලැබෙන්නට තිබුනා. 

අම්බලන්තොට, නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති ‘සහෘද යාමය 2018’ වැඩසටහනට පැමිණෙන්නැයි මට ආරාධනා කල මොහාන් අලගියාවඩු (Mohan Oswald Alagiyawadu) තරුණ මහතාට බොහෝ පිං. ඔහු මහත් සේ මේ පිළිබඳව වෙහෙස මහන්සි වුනා. නොඅනුමානවම එහි සිටි යෞවනයන් මට වඩා දෙයක් ග්‍රහණය කරගන්නට ඇති ඒත් ඔවුන් නොදැන සිටි එකම කාරණාව ඔවුන්ගේ ජංගම දුරකථන තිර පිටුපස සිටි අපටද පෙනෙන බවයි.

අවසානයට, පාරක් තොටක් අහගන්නට කතා කලත් මේ වන තෙක් මගේ දුරකථන ඇමතුමට පිලිතුරක් ලබා නොදුන් සියළුම දෙනාත් ආදරයෙන් සිහිපත් කරමින් මුලින්  ඉතා වේගයෙන් ගියත් දැන් ජීවිතයම එපා වී ඉතා හෙමින් ඉබි ගමනේ යන රියැදුරුත් සිහි කරමින් හසිත පෙරේරා තවමත් බස් රථයේ සිට (BBC එල්මෝ ප්‍රනාන්දු ශෛලියෙන්)

[බස් රථයේ දී සිදු කල අකුරු කෙටීම තව දුරටත් සංස්කරණය කොට සරල සුගම හැඩයක් එකතු කිරීමට දහිරියක් ලබා දුන්නේ සහෘද මොහාන් .
මගේ අගක් මුලක් නැති කතාව කියවූ ඔබටත් ස්තූතියි ]

Wednesday, December 7, 2016

රෝගී දෑසේ ඇස රඳවන්නට


අසනීප වී දින ගණන් නිවසේ සිරවී කල් ගත කරනා කල මතකයට නැගුන ගීතයක් මේ.


ගී පද: මහින්ද දිසානායක

සංගීත නිර්මාණය: උපාලි ජයලත්

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ


රෝගී දෑසේ ඇස රඳවන්නට - ඇයිද පමා වෙන්නේ
ඔබ ළඟ නැතිදා කෙලෙසක දෝ හද - ගිමන නිවී යන්නේ ........

සමීප සයනේ සාද තෙපුල් මැද - තැවිසිත සුවපත් වේ
තනිකම දැවටී දෑසේ දෑලින් - උණු කඳුලැලි වෑහේ ........

ජීවක දෑතේ පහස ලැබූවත් - සුව නැහැ ලං වෙන්නේ
එපා කිසිත් වෙන දෑස පතන ඔබෙ - රුව බෙහෙතක් වැන්නේ .........

Friday, March 6, 2015

බණ්ඩාරේ ඔබ කොතැන ද බණ්ඩාරේ - 2010 ජනවාරි 03 වැනිදා සිළුමිණ පුවත් පතින් උපුටා ගන්නා ලදි

අද (3) වැනිදාට යෙදෙන බණ්ඩාර කේ. විජයතුංග කලාකරුවාගේ 20 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.

මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීල්ල උඩ
බණ්ඩාර කේ. විජයතුංග ලියූ කෙටි කවක් මා සිහියට එයි. ඔහු එය ලීවේ තමාගේ ‘නෙත් දහස’ නම් වූ කාව්‍ය සංග්‍රහයට ය. එම කවිය ප්‍රකට කරන්නේ ජපන් හයිකු සම්ප්‍රදායයෙන් කවියා ලද නොමඳ ආභාසයයි. මෙරටට සිංහල හයිකු කවි හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ බණ්ඩාර කේ. විජයතුංගට බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි, බණ්ඩාර ගේ ‘සුළඟ වගේ ඇවිදින්’ ගී සංග්‍රහයට පසුවදනක් ලියමින් කියා ඇත. එසේ ම එකී ගී සංග්‍රහයට දීර්ඝ ප්‍රස්තාවනාවක් ලියන මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර හයිකු කවියෙන් ආභාසය ලත් මුල් ම කවීන් කීපදෙනාගෙන් කෙනකු විය යුතු යැයි කියයි. ඉහත ප්‍රකාශ දෙකෙන් එක්කෝ එකක් නිවැරදි ය. නැතිනම් දෙකම නිවැරදිය. බණ්ඩාරගේ තවත් හයිකු ශෛලියේ කවියක් සමන් අතාවුදහෙට්ටි මෙසේ සටහන් කරයි.
චිත්‍රානි
පෙරුම්පුරා බස් නැවතුමට
ආ සඳ
‘එකසිය දොළහ’ ඔබ ගිලගෙන

බණ්ඩාර ගැනත් ඔහුගේ කාව්‍ය නිර්මාණයක් ගැනත් මා සාවධාන වූයේ ඔහුගේ 20 වැනි ගුණානුස්මරණය අදට (03 වැනිදාට) යෙදී තිබෙන බැවිනි. බණ්ඩාර මිය ගියේ 1990 වසරේ ජනවාරි මස 3 වැනිදා ය. බණ්ඩාර මුලින් හැඳින්වුණේ ආනන්ද කේ. විජේතුංග යන නාමයෙනි.
සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජේතුංග ඔහුගේ සම්පූර්ණ නම විය. ආනන්ද, බණ්ඩාර වූයේ ප්‍රේම පලහිලව්වක් නිසා බව මම අසා ඇත්තෙමි. ඔහුට පිටුපෑ පෙම්වතිය ජීවිතයෙන් සදහටම අමතක කිරීම සඳහා ඔහු තම නම පවා වෙනස් කර ගත්තේලු.
උපන්නේ 1939 ජනවාරි 28 වැනිදා කුරුණෑගල වැලිගන්වත්තේ දී ය. බදුල්ල සාන්ත බීඩ් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද බණ්ඩාර පසුව කොළඹ ආනන්ද විදුහලට ඇතුළු වූයේ ය. ඔහු ආනන්ද විදුහලේ සිටියදී ලේඛන කලාවෙන් හා චිත්‍ර කලාවෙන් දැක්වූයේ අසමසම කුසලතාවකි.
බණ්ඩාර කලා ක්ෂේත්‍ර කීපයකින් ම ප්‍රතිභාව පෑවේය. ඔහු ලේඛකයෙකි; කවියෙකි; චිත්‍ර ශිල්පියෙකි; අකුරු නිර්මාණ සැලසුම් ශිල්පියෙකි; ගීත රචකයෙකි; නිවේදකයෙකි; චිත්‍රපට ප්‍රචාරක සැලසුම් ශිල්පියෙකි; ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි; ගුවන් විදුලි නාට්‍ය නළුවෙකි.
බණ්ඩාර ගේ කුසලතා මුලින් ම මතු වූයේ ලේඛන කලාවෙනි. ශ්‍රීයා රත්නකාර මහත්මිය සංස්කරණය කළ ‘වනිතා විත්ති’ පුවත්පතට ඔහු ලිපි ලිව්වේ ආනන්දනී විජයතුංග යන ස්ත්‍රී නාමයෙනි.
එකල මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සුනන්දා මහේන්ද්‍ර නමින් ද කරුණාරත්න අමරසිංහ, කරුණා අමරසිංහ නමින් ද, අසෝක කොළඹගේ, අසෝකා කොළඹගේ නමින් ද, අජන්තා රණසිංහ එම නමින් ද එලෙස කාන්තා පුවත්පතක් වූ ‘වනිතා විත්ති’ යට ලිපි ලියූ බව මෙහිදී සිහිපත් කළ හැකි ය.
බණ්ඩාර ලියා ඇත්තේ එකම එක කාව්‍ය සංග්‍රහයකි. ‘නෙත් දහස’ නම් වූ එය 1963 දී පළවූයේ ය. පහත එන්නේ ඉන් එක් කවකි.


ඊට පස්සෙ
කිව්වා ඔබ
‘පිස්සුද ඔයාට?’
ඔබෙ වදන
සැබෑ බව
අදත් මම
පිළිගනිමි
නමුත් ඔබ
නොදන්නෙහි
මගේ ඒ
පිස්සුවට මුල්වුණේ
ඔබම බව



පෙරද දැක්වූ පරිදි බණ්ඩාර චිත්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ඔහු පාසල් අවදියේ සිට ම චිත්‍ර කලාවෙන් ද දස්කම් පෑවේය. තමාගේ ‘නෙත් දහස’ කාව්‍ය සංග්‍රහයේ මෙන් ම අජන්තා රණසිංහ ගේ ‘තිවංක රේඛා’ ගී සංග්‍රහයේ ද කංචුක නිර්මාණය බණ්ඩාරගෙනි.
බණ්ඩාර නොනැවතී දිගටම චිත්‍ර කලාව දියුණු කරගත්තේ නම් ඔහු අපූර්ව ස්වතන්ත්‍ර ශෛලියක් ඇති අනන්‍ය ලක්ෂණයෙන් යුත් කෘතහස්ත චිත්‍ර ශිල්පියෙකු වනු නොඅනුමාන බව කරුණාරත්න අමරසිංහ කියා ඇත. (අමර සමර ‘ලක්බිම’ 2003 ජනවාරි 19)
බණ්ඩාර ප්‍රතිභාසම්පන්න ගීත රචකයෙක් වූයේය. ඔහුගේ ‘නෙත් දහස’ කාව්‍ය සංග්‍රහයේ දී ඔහු ආචාර්ය අමරදේව, ඇන්ජලින් ගුණතිලක, ටියුඩර් කඳනආරච්චි යන ගායක ගායිකාවන්ට ලියූ ගීවල පදමාලා දක්නා ලැබේ. එච්.ආර්. ජෝතිපාල ගයන ‘මහද නමැති වනබඹරා’ ‘සමන්මල් පියල්ලේ’ ‘මිල්ටන් මල්ලවආරච්චි ගයන ‘හද උතුරා ගංගාවේ’ ‘ඔබ වෙනුවෙන් ලියූ දහසක් ගී’ ‘ඔබයි මමයි මැවූ සිහින’, ‘ක්‍රිස්ටෝපර් පෝල් ගයන ‘රුවන් තොරන් තනා’ ‘මුළු ලෝකේ පුරා’, ජී.එස්.බී. රාණි පෙරේරා ගයන ‘ආයුබෝවන් - ආයුබෝවන්’ වැනි සරල පෙම් ගීත ද වික්ටර් රත්නායක ගයන ‘සඟවා ගනු මැන’ ‘මගෙ හද ඔබෙ ළඟ’ ‘සත්සමුදුරු තරණය කොට’ සනත් නන්දසිරි ගයන මහද පෙම් විලේ’ ‘දිනෙන් දින ඔබ වෙතින්’ ‘හමුවෙමු සුවබර තවත් සැඳෑවක’ වැනි කිසියම් ගැඹුරක් ඇති ගීත ද බණ්ඩාර ලියා ඇත. පණ්ඩිත් අමරදේව හා වික්ටර් රත්නායක ගයන ‘ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා’ ගීතය ද පණ්ඩිත් අමරදේව හා සනත් නන්දසිරි ගයන ‘විකසිත නයනින්’ ගීතය ද බණ්ඩාර ගේ විචිත්‍ර ප්‍රබන්ධය. ‘මිහිදුම් සළු තිර’ (සුනිල් එදිරිසිංහ - නීලා වික්‍රමසිංහ) ‘සබඳකමක් නැති’ (නීලා වික්‍රමසිංහ) ගී දෙක ද බණ්ඩාර ගේ ගීත රචනා අතර වෙයි.
බණ්ඩාර ලියූ ගී සියල්ල විචාර පූර්වකව අවලෝකනය කරන කල්හි ඉන් බොහෝමයක් ම අසම්මත ප්‍රේමය හා ඉන් පැනනඟින විවාහ සංස්ථා අධිකාරය තේමා කරගත්තක් බව පෙනී යයි. බණ්ඩාරගේ මේ ගීත ඔහුගේ ම පෞද්ගලික අත්දැකීම් ද ඒ පිළිබඳව අපට කිසිවක් කිව නොහැකිමුත් ගුවන් විදුලියේ ‘එකෝමත් එක දවසක’ නම් වූ වැඩසටහනට (1989 සැප්තැම්බර් 19 දින) දුන් සම්මුඛ සාකච්ඡාවකදී තම ගීතවල පද රචනා බොහෝමයක් ම තම ජීවිතයට සම්බන්ධ වූ ඒවා බව බණ්ඩාර කියා ඇත. ජීවිතයේ අප්‍රමාණ දුක්ඛවේදයිතයන්ට ඔහු මුහුණ දී ඇති ආකාරය එම ගී වලින් පෙනී යයි.
බණ්ඩාර චිත්‍රපට කීපයකට ම ගීත රචනා කර ඇත. ‘රිදී නිම්නය’, ‘බිත්ති හතර’, ‘ආශා දෑසින්’, ‘මල් කැකුළු’, ‘සුද්දා’ ‘මධු සමය’, ‘දිනුම’ ‘ශ්‍රී මදාරා’, ‘පොඩිමල්ලි’, ‘බංගලි වළලු’ බණ්ඩාර ගී ලියූ සිනමාපට කීපයකි. එයින් ‘රිදී නිම්නය’ චිත්‍රපටයට ඔහු ලියූ ‘සුළඟ වගේ ඇවිදින්’ ගීතය සඳහා 1984 හොඳම ගීත රචකයා සඳහා වූ ජනාධිපති සම්මානය හිමිකර ගත්තේ ය. ‘මා ද ඔබම විය’ (මධුසමය) ‘යාළුයි අපි යාළුයි’ (සුද්දා), ‘විකසිත පැතුමන් ඔබේ ළයේ (ආශා දෑසින්) ‘මල් රොන් වයසේ’ හා ‘ඩිංඩොං ඕ බේබි සින්ග් අ සෝන්ග්’ (දිනුම)
බණ්ඩාර චිත්‍රපටවලට ලියූ ජනකාන්ත ගීත කීපයකි.
බණ්ඩාර වෘත්තියෙන් මහ බැංකුවෙත් ජාතික චිත්‍රපට සංස්ථාවෙත් සේවය කළත් ඔහු කාලාන්තරයක් ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස කටයුතු කෙළේ ය. ආනන්ද මහා විදුහලේ ඉගෙනුම ලබන අතරතුර දීම ඔහු කරුණාරත්න අබේසේකර මෙහෙයවූ ‘සරස්වතී ළමා මණ්ඩපයට’ සහභාගි වූයේ ය. විජිතානන්ද මැණික්දිවෙල මෙහෙයවූ ‘බෝසත් ළමා ළපටියෝ’ සරත් විමලවීර මෙහෙයවූ ‘ළමා රංගපීඨය’, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මෙහෙය වූ ‘රේඩියෝ සඟරාව‘ වැනි විචිත්‍රාංගයන්ට ද බණ්ඩාර නොයෙක් ආකාරයෙන් නිර්මාණශීලී දායකත්වය සැපයූවේ ය.
බණ්ඩාරට තිබුණේ ඉතාම ගැඹුරුවූත් භාව පූර්ණවූත් කටහඬකි. ගුවන් විදුලියේ දී ඔහු නිවේදකයකු ලෙසත් ගුවන් විදුලි නාට්‍ය නළුවකු ලෙසත් දක්ෂතා ප්‍රකට කළේ ය.
නිවේදකයකු ලෙස ඔහු සුවිශාල ප්‍රතිභාවක් පෑවේ චිත්‍රපට ප්‍රචාරක ශිල්පයේ ය.
ගුවන් විදුලියෙන් බැහැරව ඔහු වඩාත් කැපී පෙනුනත් වික්ටර් රත්නායක ගේ ‘ස’ සංගීත ප්‍රසංගයේ නිවේදකයකු ලෙස ය. තමන්ට ම ආවේණික වූ නිවේදන කලා ශෛලියක් බණ්ඩාරට පිහිටා තිබිණි.
ප්‍රසංග නිවේදන කලාවේදී ද බණ්ඩාර හයිකු කාව්‍ය සම්ප්‍රදායය අනුගමනය කරමින් ගීතවලට ඉතාම කෙටි හැඳින්වීම් නිවේදන ඉදිරිපත් කෙළේ ය. වික්ටර් රත්නායකගේ ‘මාලිනියේ’ ගීතය ඔහු හඳුන්වාදුන්නේ මෙසේ ය.
පතිවත රකිනා කුල කුමරියන් ද ලොව ඇත.
ඇත...? අපි එසේ සිතමු.
‘ගුවන් විදුලි රඟමඩල’ යටතේ නිෂ්පාදිත නාට්‍ය ගණනාවකට ම බණ්ඩාර තම හඬ එක් කළේ ය. විශේෂයෙන් කපිල කුමාර කාලිංග ලියූ සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ‘මකරාගේ තානායම’ නාට්‍යයේ ඔහු නිරූපණය කළ සුදු රැවුලාගේ චරිතය අදටත් ගුවන් විදුලි නාට්‍ය ලෝලයන්ගේ මතකයෙන් ගිලිහී ගොස් නැත.
බණ්ඩාර ඉදහිට ගුවන් විදුලි නාට්‍යය රචනා කළේ ය.
එහි දී ඔහු වඩාත් සුවිශේෂත්වයක් දැක්වූයේ ප්‍රබන්ධ නාට්‍ය රචනා කිරීමට ය. මෙරට ගුවන්විදුලියේ විද්‍යා ප්‍රබන්ධ නාට්‍ය රචනයේ පුරෝගාමියා ඔහු ය.
චිත්‍රපට ප්‍රචාරක ශිල්පියකු වශයෙන් ද බණ්ඩාරගේ කාර්ය සාධනය අපේ විචාරක්ෂියට යොමුවුව මනාය. චිත්‍රපට සමරු කලාප සංස්කරණයෙන්, චිත්‍රපට ප්‍රචාරක පාඨ (ස්ලෝගන්) නිර්මාණයෙන්, ගුවන්විදුලියේ චිත්‍රපට වෙළෙඳ දැන්වීම්වලට හා චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට (ට්‍රේලර්ස්) වලට හඬ මුසුකිරීමෙන් ඔහු ඊට දායක වූයේ ය. ‘රන්මුතුදූව‘ ‘ගැටවරයෝ’, ‘වැලිකතර’ බණ්ඩාර සංස්කරණය කළ චිත්‍රපට සමරු සංග්‍රහයන් ය. ස්වර ප්‍රස්ථාර සහිතව ගීත ද ඇතුළත් මෙරට මුල් ම චිත්‍රපට කළඹ ‘රන්මුතුදූව‘ බව මහාචාර්ය සුනිල් ආරියරත්න කියයි. (සුළඟ වගේ ඇවිදින්’ ගීත සංග්‍රහයේ ප්‍රස්තාවනාව)
බණ්ඩාර නිර්මාණය කළ චිත්‍රපට ප්‍රචාරක පාඨ අදත් අපේ මතකයේ රැඳී පවතී. ‘රජ දැක්මට අවසරද?’ (වැලිකතර) ‘එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පිවිතුරු වතුසුදු මලක්’ (එයා දැන් ලොකු ළමයෙක්) ‘යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි! (උතුමාණෙනි) ‘ඔබ දෑතට රන් මුතුවක් - මා දෑතට විලංගුවක් එයයි සොහොයුරිය මාගේ පරිත්‍යාගය” (පරිත්‍යාගය) ‘ඔබත් මාත් උපදින්නේ, පිහිනන්නේ එකම මුහුදක, ඔබත් මාත් මිය යන්නේ එකම වෙරළක වැල්ලක’ (බඹරු ඇවිත්)
චිත්‍රපට ප්‍රචාරක පාඨ රචකයකු ලෙස බණ්ඩාර වඩාත් කැපී පෙනුණේ හින්දි චිත්‍රපටවලට ලියූ ප්‍රචාරක පාඨවලදී ය. ‘හඳ බැඳි විකසිත ආදරය තේමා ගීතය’ (ගීත්) ‘ඔවුන් දෙදෙන එක් කළේ ද ගීතයයි - ඔවුන් දෙදෙන වෙන් කළේ ද ගීතයයි (අභිමාන්) ‘ළඳුනි මට සමාවන්න’. මා ඔබට ද්‍රෝහි වූවා නොවේ’ පියකු නැති දරුවකුට පියෙක් වූවා පමණි’ (දාග්) පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ වීරසූරිය සිසු ඝාතනය පසුබිම් කරගෙන ‘දාග්’ චිත්‍රපටයේ ප්‍රචාරක පාඨය මෙසේ වෙනස් වූ බව සමන් අතාවුදහෙට්ටි ලියූ ලිපියක කියා සිටී. සිසුනි මට සමාවන්න! මා ඔබට ද්‍රෝහි වූවා නොවේ. වීරසූරියට වෙඩි තැබුවා පමණි.”
‘බොබි’ නම් වූ ශ්‍රී ලංකා - පාකිස්තාන් හවුල් නිපැයුමකට ඔහු ලියූ ප්‍රචාරක පාඨයක් මෙසේ ය. ‘අහිංසකාවියක රිදවන්න අනික රිදවුම ඇයට නොව ඇය රිදවූ ඔබටයි.’
‘ගීත්’, ‘අභිමාන්’ වැනි හින්දි චිත්‍රපටවල ජනප්‍රියත්වයට විවිධාකාර හේතු තිබුණ ද ඉන් එක් හේතුවක් ලෙස බණ්ඩාර එම සිනමාපට වෙනුවෙන් ලියූ ප්‍රචාරක පාඨ ද සැලකිය හැකි යැයි මම සිතමි. ඒ බව එවක ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි හා විධාන විධායක නිලධාරියා වූ ඩී.බී. නිහාල්සිංහ බණ්ඩාරට දී ඇති වෘත්තිය සහතිකයක් ද සාක්ෂි දරයි. එහි කියැවී ඇත්තේ ‘ගීත්’, ‘අභිමාන්’ වැනි හින්දි චිත්‍රපට ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනයවීමේ ප්‍රධානම හේතුව බණ්ඩාරගේ ප්‍රචාරක කටයුතුවල ශක්තිය බව ය.
1980 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව ලියැවුණු පෙත්සමට අත්සන් කිරීමේ විපාක වශයෙන් බණ්ඩාරට ගුවන්විදුලිය තහනම් කලාපයක් වූයේ ය. ජීවිතයේ අතිශය පෞද්ගලික වියවුල් නිසාත් මෙබඳු සමාජ දේශපාලන ආන්දෝලන නිසාත් බණ්ඩාර ව්‍යාර්ථ අපේක්ෂණයකින් පසු වූ බවත් පෙනී යයි. ජීවිතය පිළිබඳව කිසියම් ශ්‍රද්ධාවක් තිබිණි නම් එය ද වැනැසී ගියා සේ විය. ඔහු එකල ගතකර ඇත්තේ විප්‍රවාසි ජීවිතයකි.
1990 ජනවාරි මස 3 වැනි දින බණ්ඩාර අපෙන් සදහට ම සමුගත්තේ ය. එය දිවි නසාගත්තා හා සමාන වූ මරණයකි. බණ්ඩාර ලියූ මල්කාන්ති නන්දසිරි ගයන ගීතයක කොටසකින් මේ කෙටි ප්‍රණාම සටහන අවසන් කිරීමට මම අදහස් කරමි.

ඔබේ ම සුරතින් ඔබේ ම ගෙල සිදි
සැඟවී යන්නට සිතනු එපා
මා වෙනුවෙන් ඔබ යළි ඉපදෙනු මැන
මියගිය ඊයේ පසෙක දමා


Saturday, September 6, 2014